Tuesday, June 20, 2017

විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ




රොමානා අත් පරිගණක තිරයෙන් දෑස මෑත්කර හිස වමට, දකුණට, යලි වමට කැරකෙව්වාය. පුවත්පත් කාර්යාලය, ‘පුවත්සල’ බවට රූපාන්තරණය වූයේ දශක දෙකතුනකට පෙර වුවද, රාජකාරියේ වෙහෙස පෙර පරිදිමය. දැන් සෝදුපත් යන්ත්‍ර ද, පිටු සැකසුම් රොබෝවරු ද සුළු බීප් නාද කිහිපයකින් පසු පුවත් සකසා, සංසරණයට සුදුසු තත්වයට නිමවා දෙන බැව් සැබැවි. නමුත් දවසින් බාගයක් අහවර වෙන්නටත් පෙර උරහිස් දෙපසින් ඇරඹී කොඳු ඇට පේලිය දිගේ පහල බසින වේදනාවත්, හෙඩිමකට වචන ගලපා ගන්නට පවා පැය ගනන් හිස කළඹවන තැනට පත් කරවන දැඩි මානසික වෙහෙසත් දිනෙන් දිනම තම නූස් කෙසඟ සිරුර වෙලා ගන්නා බැව් රොමානා සිහි කලේ කළකිරීමෙනි.


“වයසට වෙන්නැති.” දන්නා හඳුනන කවුරුත් කීවේ එහෙමය. යාන්තම් විසි විය ඉක්මවන්නටද පෙරාතුව දිවයිනේ විශාලතම පුවත්පත් සමාගමක රැකියාවට බැඳුන ඕ දැන් අදාල සමාගමේ ප්‍රධාන කතෲවරියකි. පසුගිය දශක දෙක තුල සිදුවූ තාක්ශණික පෙරලියත් සමග ‘පුවත්පත්’ ඉතිහාසයට අයත් වදනක් බවට පත්වෙද්දී ‘ඩිජිටල් පුවත් හලක්’ බවට පෙරැලුණු පුවත් කාර්යාලය ව්‍යාපාරික සමුද්‍රය කළම්බමින් ඉහළ නැගෙන රළ පහරවල් හමුවේ එහෙ මෙහෙ පෙරැලී, සුමට වී, මටසිලිටි වී හඳුනාගන්නට නොහැකි තරමට වෙනස් වී තිබුණි. විසි වියැති තරුණියක්ව, කාර්යාලයේ පටු කොරිඩෝර දිගේ කෝලිත්තම් කරමින් ඇවිද ගිය හැටි, සමවයස් සගයන්ගේ කෑ කොක්සන් නදින් දැවමය පොළොව සහ උස් කුළුණු වෙව්ලුම් කෑ හැටි එකිනෙක කැලතී නොස්ටැල්ජීය රිදුමකින් ඇගේ ඇස් කෙවන්නට වී. පුටුව මත වට දෙකතුනක් කරකැවුණු රොමානා උපැස් යුවල පිස දමමින් පුටු ඇන්දට හිස බර කරගෙන කල්පනාවේ නිමග්නව උන්නාය.


“රොම්සී”

එක්වරම ඈ ඉදිරිපස අවකාශයේ දිගහැරුණු සල්ලාප තිරයෙන් එබී උන්නේ විද්‍යා සඟරා සංස්කාරකවරයා ය. දිගැටි නිකටක්ද, විචක්ෂණශීලී දෙනෙතක්ද හිමි ඔහුගේ මුහුණ දකින රොමානාට සිහිපත් වූයේ රාජාලි කුරුල්ලෙකි.


“අමතනවා මන්දිල්. මොකක්ද ප්‍රශ්ණෙ?’ 

ඈ තිරය වෙත නැමී එහි ආලෝක සහ විශාලන සැකසුම් සීරුමාරු කලාය. රාජාලි තරුණයා සිය වැඩ මේසයෙහි වූ ලිපියක්, දබරැඟිල්ලෙන් ගෙන තිරය මතට ප්‍රක්ෂේපණය කරන්නට යෙදුණි.


‘අකාලික යෞවනයා’; ඒ විද්‍යා ප්‍රබන්ධයක් බව වටහා ගැනීමට රොමානාට තත්පර කිහිපයක් ගතවිණි. “ඔව් දැන් මොකක්ද ප්‍රශ්ණෙ?”


“මේ විද්‍යා ප්‍රබන්ධය තමයි ප්‍රශ්ණෙ.” 

මන්දිල් මද සැකයකින් මෙන් වදන් ගැලපීය. “ඇත්තටම තව සුළු මොහොතකින් මේක පාඨක අවකාශයට සංසරණය කරන්නයි නියමිතව තිබුනෙ. කතාවේ මතුපිටින් පේන කිසිම අවුලක් නැහැ. ඒත්, ඒත්, මොකක්දෝ වාසනාවකට මට ආසා හිතුනා සංසරණයට අනුමැතිය දෙන්න කලින් කතාව කියවලා බලන්න. ඇත්තම කිව්වොත් මම මලපාලුවෙන් උන්නෙ රොමානා.”


“අපි හැමෝම එහෙමයි. නැද්ද?” 
රොමානා මුවගට සිනහවක් නගා ගනිමින් තෙපලාය.


“මුළු කතාවම පදනම් වෙලා තියෙන්නේ සෛල වයස්ගත වීම පිළිබඳ ජානමය සම්බන්ධතාවය මත. අපි ඒ කල්පිතයේ බිඳවැටීමත් මුක්ත ඛණ්ඩක සම්බන්ධ කල්පිතය තහවුරු වීමත් ගැන වෙනමම විශේෂ විද්‍යා කලාපයක් නිකුත් කරලා දැන් මාස තුනක් වෙනවා. එහෙම තත්වයක් යටතේ මේ විද්‍යා ප්‍රබන්ධය පල කරන්න පුළුවන්ද? මේක ප්‍රබන්ධයක් විතරක් තමයි. ඒත් ඔයා දන්නවනේ පුවත් නියාමන කොමිසම බලාගෙන ඉන්නෙම අපි වංගුවක් ගහනකම්, කර මුලින් අල්ලා ගන්න.” මන්දිල්ගේ කටහඬ වෙහෙසකරය.


“එවන්න.” රොමානා උපැසට උඩින් බලමින් කීවාය. “මම පුලුවන් දෙයක් කරන්නම්”


“තැන්ක් යූ රොමානා! ඔයා නම් අපිව ගලවා ගන්න ආපු සුරදූතිකාවක්!” තිරය මත බොඳවෙමින් පැවතුන මන්දිල්ගේ මුහුණේ දෙතොල් චලන පෙනෙන නොපෙනෙන තරමට අපැහැදිලි විය.


ඕ විද්‍යා ප්‍රබන්ධය දිගහැරියාය. 

"විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ
ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී"

ලිපිය ඉහලින්ම තද කළු පැහැ ඇල අකුරෙන් සටහන්ව තිබිණි.


රොමානාට කොටට කැපූ කූරු කෙස්සක් සහිත, දුහුවිලි වැකුණු කැන්වස් සපත්තු අඳින කෙල්ලක් වූ තම විසි හැවිරිදි රුව සිහිපත් විය. ඈ පුවත් සංස්කාරකවරයාගේ කාර්යාලය අසල එකෙල මෙකෙල වෙමින් උන්නේ තමන්ට පැවරෙන්නට යන නුහුරු රාජකාරිය ගැන තැවිල්ලෙනි.


“ටිලිං ටිලිං”

විසල් දැවමුවා මේසය මත වූ පැරණි මාදිලියේ අත්-සීනුව නාද කිරීම සඟරා සංස්කාරකවරයාගේ විනෝදාංශයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුව ‘ඇන්ටික් බෙල්මෑන්’ නමින් අභිෂේක ගැන්වීමට කාර්යාලයේ ගැටවර කල්ලිය තීරණය කර තිබිණි. සීනු නාදය තේ කොල්ලාගේ සිට සහය සංස්කාරක දක්වා සියල්ලන්ටම පොදු වූ කැඳවීම් නාදය විය. ඉතින් රොමානා කුඩා අශ්ව පැටවෙක් මෙන් කෙටි පිමි මතින් ‘බෙල්මෑන්’ වෙත පිවිසුණාය.


“විද්‍යා සඟරාවක් පටන් ගන්නයි යන්නෙ.” ‘බෙල්මෑන්’ කරදාසි ගොන්නක් මත වූ ගෝලාකාර වීදුරු බරුව එහා මෙහා පෙරලමින් කීය. 

“මේ මිත්‍යා සඟරා රැල්ලයි, හදි හූනියම්, වශි ගුරුකම් රැල්ලයි එක්ක අපිට ඉහ ගහන්න තියෙන හොඳම ක්‍රමය ඒක.”


රොමානා හිස සැලුවාය. මැණික් කටුව වටා බැඳ ඇති මහත අත් පළඳනා පටි කරකවමින් මදක් ඉදිරිය්ට නැමීගෙන අසා උන්නාය. 


“ලොකු පිටුවක විද්‍යා ප්‍රබන්ධයක් දාන්න ඕනෙ. සතිපතා අලුත් දෙයක්. ඒක ඔයාට ලෑස්ති කරන්න පුලුවන්ද? හොඳ අලුත් විද්‍යා ලේඛකයෙක් අල්ලාගන්න ඕන.”


‘ආචාර්ය තියඩෝර් කලංසූරිය’; දශක ගනනාවක් මුලුල්ලේ නොබිඳුන බැම්මකින් විද්‍යා සඟරාවත්, එහි පාඨක ප්‍රජාවත් බැඳ තැබීමට සමත් විස්ම විද්‍යා ප්‍රබන්ධ රචකයා ඈට මුණගැහෙන්නේ ඉන් පසුව ය.
එකල ආචාර්ය තියඩෝර්ගේ පුස්තකාල ආගාරය මධ්‍යයේ ගෙවී ගිය කෝපි සුවඳැති සන්ධ්‍යාවන් අඩුම තරමේ දෙසතියකට එක බැගින්වත් තිබූ බව රොමානාට මතකය. වසරින් වසර ගෙවෙන්නාහාම අධික කාර්යබහුලත්වයත්, දිනෙන් දින පුළුල් වුණ වගකීම් සම්භාරයත් හේතුවෙන් අලස සැඳෑවන් නැත්තටම නැති වී ගිය වග සිහිපත් කල රොමානා, දැන් ඒ සුන්දර, වයස්ගත මිනිසා මොනවා කරමින් ඉන්නවා ඇත්දැයි සිතුවාය.



*********************************



 “රොම්සී, දරුවෝ” ඒ දුරකතන ඇමතුම ලැබුනේ මීට වසර දොළහකට පෙරද, නැතිනම් දහසයකට පෙරදැයි රොමානාට හරි ගනිච්චියක් තිබුණේ නැත. මතකයේ පැහැදිලිව සටහන්ව තිබුනේ ඒ ශීතල නොවැම්බර් සවස්වරුවක් බවත්, එය තියඩෝර්ගෙන් ඈ ලද අවසන් ඇමතුම බවත් පමණි.


“හායි තියෝ! ඉතින් ඉතින් කොහොමද වාසදේස?” ප්‍රීතියෙන් මඬනා ලද හඬින් යුතු රොමානා පාවහනින් මිදුන දෙපා පරිගණක මේසය මත තබාගෙන පුටුව ඉදිරියටත් පිටුපසටත් පද්දමින් උන්නාය.


“මම ඔයාට කතා කලේ ලොකු උදව්වක් ඉල්ලන්නයි පුංචි යාලුවේ!” තියඩෝර්ගේ කටහඬ වෙවුලනසුළු විය. “ඔයාලගෙ පත්තරේ ඈයොන්ගෙන් මට පුදුමාකාර කරදරයක් නෙව තියෙන්නේ. මම ගිවිසුමේ හැටියට සතියකට වතාවක් විද්‍යා ප්‍රබන්ධයක් නොවරද්දාම එවද්දිත්!” අවධානය රඳවා ගන්නට මෙන් ඔහු මදක් කැස්සේය. “මම ලොකු පර්යේෂණ කටයුත්තකට අතගහලයි ඉන්නේ. ඒ කියන්නේ, තව දශක දෙකතුනක් යනකම් මම ඔයාට ගන්න අවසාන ඇමතුම මේක වෙන්නත් පුළුවනි.”


“මොන ඇන්නෑවක්ද ඒ?” 
රොමානාට කියවුණි. “ඔය වයසට ඔහොම බොන්න හොඳ නෑ තියෝ! මම දවසකුත් කිව්වා ඔයාට.”


“පිස්සු කෙල්ල. මම විද්‍යාඥයෙක්. අපේ ජීවිත මෙහෙම තමයි.” තියෝ සුසුමක් හෙලනු අනිත් පසින් ඇසුණි. “බාගවිට, තව ටිකක් ලොකු වෙනකොට ඔයාට මීට වඩා හොඳට දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.”


එය ඈ ආචාර්ය තියඩෝර් කලංසූරිය සමග කල සංවාදවල අවසානය විය. සතිපතා ලැබෙන විද්‍යා ප්‍රබන්ධය, අවුරුදු නිවාඩු, නත්තල් නිවාඩු සමයන්හිදී පවා ඊමේල් පණිවුඩ ඇමුණුමක් ලෙස නොකඩවා පුවත් කාර්යාලය වෙත ලඟාවූයෙන් යලි යලිත් ඔහු අමතා කරදර කරන්නට කිසිවෙකුටත් උවමනා වූයේද නැත. මේ මොහොත වන තෙක්ම!


රොමානා සිය පැරණි දුර ඇමතුම් අංක ගොනුව පෙරලන්නට වූවාය. තියඩෝගේ අංකයට ඇමතුම යොමු කර මද නොඉවසිල්ලෙන් මෙන් යතුරු පුවරුවට නිය තුඩින් තට්ටු කරමින් උන්නාය.


“කණගාටුයි. ඔබ ඇමතූ දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇත.
කරුණාකර පසුව යළිත් අමතන්න.”


සුකොමළ ගැහැණු හඬකින් පටිගත කරන ලද පණිවුඩය සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වැයෙමින් පැවතුණි. රොමානා කැරකෙන පුටුව පසුපසට තල්ලු කරමින් නැගී ගත්තාය. පුටු ඇන්ද මත වූ කාඩිගන් කමිසය වමතටත්, ලීයෙන් කල ලෝක ගෝලයක අනුරුවක් සහිත යතුරු කැරැල්ල දකුණතටත් ගත් ඕ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ කඩිනම් ගමනිනි.


‘තියෝට මොනවා වෙලාද?’ තියඩෝර්ගේ නිවස බලා වාහනය පදවන අතර ඇයට මැවී පෙනුනේ තනිකමෙන් පීඩිතව, මිත්‍ර සම්භාෂණයක්, සමාගමයක උණුහුමක් බලාපොරොත්තුවෙන් දෑස් අයා මග බලා ඉන්නා සෑහෙන්න වයස්ගත, දුබල මිනිසෙකි. සිය පැරණි මිතුරාව සහපිටින්ම අමතක කර දැමීම පිළිබඳ වූ මහා පශ්චත්තාපයක් සියොළඟම වෙලාගන්නා’යුරු ඇයට දැනෙන්නට විය.


විද්‍යාඥයාගේ ගෙමිදුල වියලි තුරු පත් තට්ටු කිහිපයකින් වැසීගත්තේ මූසල පාළුවක් දැනවීය. රොමානා කාරයෙන් බැස, සපත්තු ලේස් තද කර ගැටගසා ගෙන, අගුළු ලා තිබූ ගේට්ටු පියනට උඩින් පැන ගෙවත්තට ඇතුළු වූයේ වටපිටාවේ මිනිස් පුළුටක්වත් පෙනෙන්නට නොවූ හෙයිනි. “මේ තමයි මගේ පුංචි බලකොටුව” තියෝ තම නිවස හඳුන්වන්නට යෙදුනු හැටි ඇයට සිහිපත් විය. නිවසෙහි දකුණු අන්තයේ වූ ගෙරේනියම් පඳුරු ගොන්නකට ඉහළින් කැඩුණු ජනෙල් පියනක් පණුදතක් මෙන් ලිහිල්ව ඔබමොබ පැද්දෙන අයුරු ඇගේ නෙත ගැටිනි. මිනිත්තු කිහිපයක පමාවෙන් ජනෙල් පඩිය මතට නැගගත් ඕ ඊළඟ මොහොතේ නිවස තුලට පැන්නාය.


විශබීජ නාශක ද්‍රවයක කටුක ගන්ධය ඇගේ නාස්පුඩු කිටිකිටියේ සිරකරගත්තාක් මෙනි. ඔක්කාරයද, සුළු ක්ලාන්ත ගතියක්ද සමඟ ඕ කිරි පැහැති උස් බිත්තියට වත්තම් වෙමින් කොරිඩෝරය දිගේ තියඩෝර්ගේ පර්යේෂණාගාරය වෙත පියමැන්නාය. සිවිලිම දිගේ එකා පසුපස එකා දිවගිය කුඩා සූනන් දෙදෙනෙක්, පර්යේෂණාගාර දොරටුව අසල නතරව ආපසු හැරී බිත්ති කෙලවරක වූ කුඩා බිලයක් තුලට රිංගා අතුරුදන් වූහ.


මද කෙඳිරිල්ලක් සමග පර්යේෂණාගාරයේ දොරටුව විවර විය. කාමරයේ හරි මැද එල්ලා තිබූ ප්‍රතිදීප්ත පහනේ දැඩි ආලෝකය රොමානාගේ නෙත් මොහොතකට නිලංකාර කරවීය. ඒ හාම නෙත ගැටුණු දසුන් පෙල විසින් ඈව බිත්ති මුල්ලකට හේත්තු කර, හෙමි හෙමින් පහළට රූටා වැටෙන්නට සලස්වා තිබුණි.


කාමරය මධ්‍යයේ දිගු මේසයක් මත වූ බේසමක, ගිල්වා තිබුණේ මිනිස් මොළයකි. වෛවර්ණ උරගයන් සමූහයක් බඳු වයර රොත්තක් මිනිස් මොළයේ තැන් තැන් වලින් ඇමිණී, පරිපථ පුවරුවක් හා සම්බන්ධ විය. මහත දුඹුරු කේබලයකින් මිනිස් මොළයට බැඳී ගුරුගුරු නදින් ක්‍රියාත්මක වූ පරණ මාදිලියේ පරිගණක තිරයක් මත අනවරත වේගයකින් අකුරෙන් අකුර ලියවෙමින් පැවතුණි.


“විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ හය 
ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී.”




Tuesday, April 25, 2017

චරපුරුෂයෝ




හාත්පස වසාගත් අළු අඳුරය. රෑසියන්ගේ ගුරුගුරුවත්, නින්දට වැටෙන්නට පමා වූ ගෙම්බෙකුගේ  සිහින් බකබකයත් හැරුණුකොට නිහඬතාවය ඝනකම වූල් පොරෝණාවක් බඳුව පරිසරය වෙලාගෙනය. ලැරීගේ සුපැහැදිලි නීල වර්ණ දෙඇස මත කළු ඉංගිරියා පිපී එමින් තිබුණි. ඇය ඉතා උපේක්ෂා සහගතව සුදු පැහැ තාප්පය මත වාඩිගෙන දකුණුදිග අහස දෙස ඇහිපිය නොහෙලා බලා ඉන්නට විය.

එක්වනම දුඹුරු පැහැ ලොම් ගුලි දෙකක් තාප්පය මත ප්‍රාදුර්භූත වූහ. ලැරී තිගැස්මෙන් අට ඉස්බක් උඩ පැන යලිදු තාප්පය මතටම පතිත වූවේ, කුලෑටි මුහුණක් මවාගෙන වටපිට බලා ලහිලහියේ සිය පාද කොට්ටා පිරිසිදු කරන්නට විය.


“අපි ක්ලියෝපැට්‍රාට හාද්දක් දීලා එන්නයි ගියේ. අනික අපි හරිම මිනිත්තුවට ආපහු දෙදාස් දාහතට ආව නෙව. මොකද මේ කලබල වෙලා?”

ග්ලැඩ්ස්ටෝන් දුඹුරු පැහැ කන්පෙති නටවමින් ඇසූයේ සමච්චල් හඬිනි. ලැරී බුම්මාගත්වනම වම් පාදයෙන් දකුණු පාදයට මාරු වූවාය.

===============================
===============================


Palmerstone; the resident Chief Mouser of the Foreign & Commonwealth Office (FCO) at Whitehall, London

Larry; the Chief Mouser to the Cabinet Office.

Gladstone; the resident Chief Mouser of HM Treasury at Whitehall, London.

Grumpy; media personality and actress

===============================
===============================



“ගණං ගන්න එපා” පැල්මර්ස්ටෝන් සිය වල්ගා කෙලවරෙන් ලැරීගේ පිටට තට්ටු කරමින් කීවේය. “ඇරත්, මෙහෙයුමේ අවසාන භාගයට ඇවිත් ඉන්න වෙලාවෙ, පොඩි විහිළුතහළුවක් කලාය කියලා ඇඟේ වදින්නෙ නැහැ නෙවද? අනික, ක්ලියෝපැට්‍රා වගේ බළල්ලුන්ට නිසි සැලකිලි දෙන රාජ්‍ය නායකයො බෙහෙතකටවත් හොයාගන්න නැති කාලෙක පැයක් දෙකක් ඉන්න එකත් වස කම්මැලි වැඩක්.”


“මේ තමයි අන්තිම බිංදුව වෙනකම් අවධානෙ යොදවන්න ඕනෙ වෙලාව!” ලැරී සිහින් බළල් ගෙරවිල්ලක් (ඔව් එය පුරුපුරුවකට සමානයි, නමුත් භයංකාරයි.) නඟමින් පුපුරාහැලුනාය. “කාලතරණ යන්ත්‍රය අවභාවිතා කිරීමට දඬුවම විදියට මම උඹලාගෙ කන්ගැටියි, රැවුල් කෙඳියි වැහෙන්න හෙල්මෙට් අන්දලා පිට්ටනිය වටේ රවුං පන්සිය අසූ හතරහමාරක් ඇවිද්දවනවා, සත්තකින්ම!”


පැල්මර්ස්ටෝන් ලැරීගේ වචන ගණනකට නොගන්නා බවක් අඟවමින් සිය ත්රිකෝණාකාර කන්පෙති ඔසවා තාප්පය මත වූ මල් පෙත්තකට කුරුමාණම් අල්ලන්නට වූවේය. ඔහු ඉතා කඩිසර, බුහුටි බළල් නාම්බෙකි. කොහොමටත් බකිංහැම් මාලිගාවෙන් අවශ්ය තොරතුරු සියල්ල එකතු කරගන්නට ලැරීටත් අනෙක් බුද්ධි අංශ නිලධාරීන්ටත් අවකාශ ලැබුනේ තමන්ගේ හැකියාව නිසා බැව් ඔහු හොඳාකාරවම දැන උන්නේය.


ලැරී ස්වභාවයෙන්ම උඩඟු ගති ඇත්තියකි. ඈට මීයන් පෙන්නන්නට බැරිය. “අපිට පෘථිවි වාසීන්ගේ විශ්වාසය දිනාගන්නට ප්‍රගුණ කලයුත්තේ ප්රධාන හැකියාවන් දෙකක් පමණයි. එක; මීයන්, කැරපොත්තන්, හූනන් ආදී කරදරකාර සත්තු අල්ලා මරා දැමීම. දෙක; හුරතලය ප්‍රගුණ කිරීම.” සාධ්යතා අධ්යයන කණ්ඩායම පෘථිවියට මුදාහැරීමට පළමුව පැවති සැසියත්, එහිදී මීයන්ගේ නම කියැවුණු සැණින් ලැරී සිය මුව ඇඹුල් කරගෙන රැවුල් කෙඳි පවා හකුළුවාගත් හැටිත් පැල්මර්ස්ටෝන්ට මතකය. හෝමෝ සේපියන්ලා අහලක නොගැවසෙන හැම අවස්ථාවකදීම ලැරී මීයන් මරා දැම්මේ සිය ධූලක විෂ පිස්තෝලයෙනි. ප්‍රධාන මූසික ඝාතකයා ලෙස සේවා පත්වීම ලැබීමෙන් පසුව වුව මීයන් කෙරෙහි ලැරී තුල වූ අපුල පහව ගොස් තිබුනේ නැත. අන්තිමේදි බ්රිතාන්ය අග්රාමාත්යවරයා ගෑරුප්පුවක් අතැතිව මීයන් පස්සේ පන්නන්නට වෙන තැනට තත්වය දරුණු වූවාට පසුවයි ලැරී ඇඟමැලි කඩා පැරණි බළල් කුරුමාණම් ඉගෙනගනිමින් හිත කරදරයෙන් සිටි මාලිගයේ කාර්ය මණ්ඩලය සනසන්නට පටන් ගත්තේ.


“ඇයි ග්‍රම්පි ප්‍රමාද?” හැකි වැර යොදා කන කසමින් හුන් ග්ලැඩිස්ටෝන්ගෙන් වචන පිටවූයේ කඩින් කඩය. “මිනිහා ලෝක සවාරිය ඉවරවෙලා ඊයේ මෙහෙ එනවා කියල නේද කීවෙ?”


“මට තවමත් හිතාගන්න බැරි, ග්රම්පිගේ ලොරි-මූණට මේ තරම් මිනිස්සු වහ වැටුනෙ කොහොමද කියන එකයි.” ලැරී සමච්චල් සහගත හඬකින් කියන අතර, වරින් වර බළල් කැස්සක් කැස්සාය. “මිනිහා ඉන්නෙ හෝමෝ සේපියන්ලාව දිරවාගන්න බැරුව. හැබැයි පෘථිවියේ මෝඩ ඇට්ටිම්බන්ට ග්‍රම්පි කියන්නේ ලෝක ප්රසිද්ධ සෙලිබ්රිටි කෙනෙක්!


“ඔන්න ඉතින් මැඩම්ටත් හෝමෝ සේපියන්ස්ලාගෙන් ඉරිසියාව පුරුදු වෙලා.” පැල්මර්ස්ටෝන් එක් ඇසක් ඉඟිමරමින් ලැරී දෙසට විසුළු බැල්මක් හෙලීය. “බළල්ලු අතරෙන් බිහිවෙච්ච සෙලිබ්රිටිලා නිසා තමයි අපිට මේ තරම් ඉක්මනින් සාධ්යතා අධ්යයනය සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ. නැත්නම් අපි තව අවුරුදු කීයක් එක එක නම්වලින්, වෙස්මාරු කරගනිමින්, මවිල් කෙලින්වෙනතුරා කාලය හරහා අතීතයටයි, අනාගතයටයි මාරුවෙමින්, දහජරා මීයො පස්සෙ පන්නමින් මේ ලෝකෙට වෙලා නාකි වෙන්නද? ඒ මදිවට බල්ලො!”


“ස්.. ස්..” ලැරී විසුළු සහගත ලෙස හිස දෙපසට පද්දන්නට වූවාය.

“දඩාවතේ යන බල්ලෙක්වත් එනවද?” ග්ලැඩිස්ටෝන් ලේසර් ප්‍රහාරකය එකලස් කරන්නට වී.

“එහෙම නැතිනම් කැලෑ නරියෙක්?” ඒ පැල්මර්ස්ටෝන් ය.

“සංඥාව මෝඩයිනේ! සංඥාව!”

ලැරීගේ කරපටියේ ගැටගසා තිබූ වෘත්තාකාර ගැජට්ටුව මාරුවෙන් මාරුවට රතු සහ කොල එළි දල්වන්නට පටන් ගෙන ඇති බව බළලුන් දෙපල දුටුවේ එවිටය. දකුණුදිග අහසේ පායා එමින් තිබුණේ බළල් කන් යුගලයක හැඩය ගත් තාරකා රාශියකි. එය තරු අහුරක් බඳුව මොහොතකට ඇස රවටා අභ්‍යාවකාශ යානා සමූහයක් බවට වියෝජනය වී වඩාත් පහළට එමින්, රවුමෙන් රවුමට කරකැවෙමින්, පෘථිවිය වෙත ලඟාවෙමින් පැවතුණි.


ග්ලැඩ්ස්ටෝන් සිය කරපටිය අතට ගෙන ස්විච්චි කිහිපයක් ඔබා එක්සත් රාජධානියේ සිතියම හොලොග්රැෆික තිරයක් මතට ප්රක්ෂේපණය කලේය. ඉනික්බිති සිය වල්ගා කෙලවරින් තිරයට ඇන ඇන සිතියමේ විශේෂ ස්ථාන මත කෙටි සටහන් (ඔහුගේ රැලි ගැන්වුණු නළල කියාපෑවේ ඒ සටහන් බොහොම වැදගත් ඒවා බවයි.) කුරුටු ගාන්නට පටන් ගත්තේය. ඉබාගාතේ පියාඹන හෝහපුටුවෙක් දෙන්නෙක් ඔහුගේ මුහුණේ වැදී නොවැදී ගමන් ගත්තද ග්ලැඩ්ස්ටෝන්ගේ අචල අවධානය තිරය වෙතටම යොමුව තිබිණි.


අභ්යවකාශ යානය තාප්පය අසලට පහත් වූයේ කිසිදු හඬක් නොනඟා, බොහොම සීරුමාරුවට ය. පෘථිවි වාසීන්ගේ අවධානයෙන් මගහැරෙනු පිණිස එහි වූ සියළුම විදුලි බල්බ නිවා දමා තිබූ අතර, බළල් කොට්ටා පාදයක ලාංඡනයක් පමණක්, යානයේ ඉදිරි දොර මත්තේ කණාමැදිරියෙකුගේ ලා කහ පැහැයෙන් නිවිනිවී දැල්විණි.


ලැරී සිහින් ඤාව් හඬක් නගමින් කරපටියේ වූ බොත්තමක් තද කරන්නාහාම, යානයේ ඉදිරි දොර පියන ඉහලට එසැවෙන්නට විය. එතුලින් පිටතට ආවේ අළු පැහැ නිලඇඳුම් හැඳ, දීප්තිමත් කොල පැහැ තරුපටි පැළැඳි කැලෑ බළලුන් දෙපලකි.


“ප්‍රධාන අණ දෙන නිලධාරීතුමිය සමග බුද්ධි අංශ නිලධාරීන් දෙපළක් මෙතන ඉන්නවා.” ග්ලැඩ්ස්ටෝන් සිය ඉදිරි පාදය කැලෑ බළලුන් දෙදෙනාගෙන් එකෙකු අත වූ පරිලෝකණ මැසිම මත තබමින් කීය.


“ඔහ්! මේ බකිංහැම් මාලිගාවේ කණ්ඩායම නේද?” තරමක් කළු පැහැයට හුරු කැලෑ බළලා ආදරබර පුරුපුරුවක් නැංවීය. “ඔබලා මේ අවුරුදු කිහිපයේ කල කැපවීම විස්මිතයි! ධවල මන්දිරයේ හිටපු බළල්ලුමදැයි හිතාගන්නවත් බැරි විදියට අති සූක්ෂම වෙස් මාරුවක් කරගනිමින් කාලතරණය කිරීම ඔක්කෝටම හපන්, අමෙරිකානු ජනාධිපතිවරයා බකිංහැම් මාලිගයේ සංචාරයකට ආ වෙලාවේ ඔහුට ඔබලාගේ එක මවිල් ගහක්වත් හඳුනාගන්න බැරිවුනා නොවැ.”




“හෝමෝ සේපියන් සේපියන්ස්ලා පුතා. මේ ග්‍රහලෝකෙ ඉන්න ප්‍රධානම සත්ව විශේෂය හෝමෝ සේපියන් සේපියන්ස්ලා.” පැල්මර්ස්ටෝන් විසුළු සිනහවක් පෑවේය. “උන් කවම කවරදාකවත් බළලෙක්ගේ මූණක් දිහා උනන්දුවෙන් බලන ජාතියක් නෙමෙයි. කලු පුල්ලි එකා, තනි සුදු එකා, දොඩං පාට එකා, අළු වයිරම් එකා. . . උන්දැලා දන්න තරම එච්චරයි. අපේ කාල යන්ත්‍රය නිසා පාට වෙනස් කරගනිමින් අවුරුදු සීයක් වුනත් එක එක නම්වලින් පෘතිවිය වටේ සවාරි යන්න පුළුවනි. ඒ අතින් බැලුවාම මිනිස්සුන්ට මතක හිටින මූණක් තියෙන්නේ ග්‍රම්පි කැට්ට විතරක්ම වෙන්න ඕනෑ.”


“ඔහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෝ ග්‍රම්පි?” ග්ලැඩ්ස්ටෝන් ඇසීය.


“අවසාන මොහොතේ සැලසුම වෙනස් වුනා. ග්‍රම්පි ප්‍රංශ සංචාරය ඉවරවෙලා ආපහු අමෙරිකාවට යන්න තීරණය කලා. කොහොමටත්, වැඩේ අහවර වෙන්න ඕනෑ කාටවත්, බළල් මවිලකවත් සැකයක් ඉතිරි නොවෙන විදියටයි.” ඒ මොහොතේ යානයෙන් එළියට පිනූ හුරුබුහුටි පර්සියන් බළල් නාම්බෙක් යටි උගුරෙන් මතුලේය.


හිසට හිස හප්පාගනිමින් පැවැත්වූ රහස් ආචාර විධියකින් අනතුරුව, බකිංහැම් මාලිගයේ මූසික ඝාතකයන් තිදෙනා වල්ගා සහ රැවුල් කෙඳිති ගස්සමින් එකා පසුපස එකා බැගින් යානය තුලට ඇතුළු වූහ. සිහින් ‘තඩ්’ හඬක් නගමින් යානයේ දොර වැසී ගියේය. පොල් කුරුමිණියෙකුගේ බඳු ‘කරකර’ හඬක් සමඟ පණගැන්වුණු අභ්‍යවකාශ යානය කෙමෙන් කෙමෙන් ඉහල නැගෙන්නට වූයේ, මුලින් තුරුපෙලද, දෙවනුව උස් මැදුරුද, තෙවනුව වලාකුළුද පසුකරගෙන තවද ඉහලට ගොස්, තාරුකා අතර නොපෙනී ගියේය.


*********************************


“ලැරී… ලැරී…”
සිඟිති චාලට් කුමරිය රෑ මැද අවදිව හඬන්නට වූවාය.


කේට් මිඩ්ල්ටන් කුමරිය ඈ ඔසවා තදින් තුරුළු කර ගත්තාය. “ලැරී හොඳ පූසා. අපි හෙට එයාව බලන්න යමු.”


“ලැරී නරක පූසා. නරක පූසා තරු අරන් ආපහු එයි. අපිව අල්ලං යුද්ද සෙල්ලං කරයි” මවගේ ලැම මත ගුලිවී යලිත් නින්දට වැටුණු චාලට් කුමරිය සිහිනයෙන් මෙන් තොල් මතුරන්නට වූවාය.






Sunday, March 5, 2017

දොළොස්දාහක්! - Scifi




"දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලාගත් අත බලාගෙනය. නිල් පැහැ ඇඳ ඇතිරිල්ල තැනින් තැන රැළි නැගී ඇති හෙයින්, ලා රෝස රෑ ඇඳුමකින් සැරසුණු යුවතිය දිස්වන්නේ දියපෙතක පිපි නෙළුමක් ලෙසිනි.


"ඒ ගමන කන්න වගේ බලන් ඉන්නවා. ඇයි අනේ ඔයා විසඳුමක් ගැන නොහිතන්නේ. අපි අන්තිමට මුණගැහිලා දැන් මාස දහයකටත් වැඩියි."


අභිජිත්, නැහැය දිගේ පහලට රූටන උපැස් යුවල දබරැඟිල්ලෙන් ඔසවා, ස්කයිප තිරය වෙත හාද්දක් පා කලේය. "ඉතින් රත්තරනේ ඒකට හේතුව ඔයාගෙ තාත්තයි, අර නසරානි මස්සිනායි නෙමෙයිද? ගෙදරින් එළියට බැහැපු වෙලේ ඉඳන් ඔයාගෙ පස්සෙන් කවුරුහරි බොඩිගාඩ් කෙනෙක්. උන්ට අහුවුනොත් මාව මැස්සෙක් වගේ තලා දාවි. තේරෙනවනේ ඔයාට."


"අභී ඔයා එන්න අපේ ගෙදර. ගෙදර ඉන්නකොට කවුරුවත් මං උන්නද මලාද කියලා හොයන්න එන්නෙ නැහැ. එළියෙදි මුණගැහෙන්නනේ තහංචි. ඔයා එන්න තාප්පෙට උඩින් පියාඹලා මගෙ කාමරේ බැල්කනියට" ටෙඩිවලසාගේ නැහැය රවුමට රවුමට මිරිකමින් ආලියා තිරය වෙත ඉඟිමරයි.


"ඒ තටු තිබුණෙ රෝමියෝට. මං එදාමෙදාතුර එහෙම තටු ලැබුණ කියලා අහල තියෙන්නෙත් මිනිහ ගැන විතරමයි. අයියෝ ආලියා! උන් දෙන්නම මහා ගොං තකතීරුවෝ. ආදරේ ජයගත්තා කියන්නෙ එක ගොඩේ මැරිලා වැටෙන එකටෙයි? මට නං ඕන්නෑ එහෙම තොත්තපූල් ආලකතා."


ආලියා නළල රැලි ගන්වාගත්තාය. "එහෙනං ඉතිං හොයාගන්නවකෝ මොළේ ඇති විසඳුමක්." ඒ සමගම ස්කයිප තිරය කළු පැහැ ගැන්වී අභිජිත්ගේ මුහුණ අතුරුදන් විය. "එච්චර ඉක්මනට මලපැන්නද! කවදාවත් නැතුව!" ආලියා කල්පනා කරන්නට වූයේ ටෙඩිවළසාගේ කනක් සපමිනි.


කොට්ටා පවුර දෙදරවමින් ජංගමය කෙටිපණිවුඩයක් පැමිණ ඇතැයි හඬගෑවේය. "ෆෝන් එකේ බැටරි බැස්සා. මං විනාඩි පහකින් ආපහු ගන්නම්." ආලියා ඇස් කරකවමින් නොරිස්සුම් සුසුමක් හෙලීය. "කබල් ෆෝන් එක!" පහුගිය මාස කිහිපයක සිට අභිජිත්ගේ දුරකථනයත්, පරිගණකයත් සංවාද අතරමැද හිටිවනම නිසොල්මන් වෙයි.


හෝරා දෙකකට පසු ඊළඟ ඇමතුම පැමිණෙන විට ආලියා උන්නේ ගැඹුරු නින්දකය. ඇගේ දුඹුරු කෙස්ස කොට්ටා පුරා විසිරී තිබුණු අතර වම් දණහිසට යටින් මිරිකීගෙන හිටියේ පුළුන් පිරවූ හාවෙකි. ටෙඩි වළසා අසරණ ලීලාවෙන් ඇඳ ඉහත්තාවෙන් බිමට පතබෑවී මුනින්තලාවය. 


"හෙලෝව්" ආලියා ඈනුමක් අතරෙන් ජංගමය කනේ ඔබාගත්තාය.


"ඔන්ලයින් එන්න පැටියෝ ඔන්ලයින් එන්න!" 


"ගුඩ්නයිට්. උදේට හොඳේ."


"අහන්න! කට් කරන්න එපා මේක අහන්න. මං මොළේ ඇති විසඳුමක් හොයාගත්තා."


"ම්හ්" ආලියා නිදිමතෙන් රත් පෑ ගැනුණු දෑස් අත්ලෙන් පොඩිකරමින් ලැප්ටොප් තිරය දිගහැරියාය. කනත් උරහිසත් අතරට වාරු වී උන් ජංගමය 'දඩස්' හඬින් කළාලය මත පතිත වුනි.


"මේක අහන්න. ඔන්න මාස දහයක මහන්සියෙන් පස්සෙ මම විසඳුමක් හොයාගත්තා. මං අපිට අළුත් චැට් ගේට්ටුවක් හැදුවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන්ම!" එකෙණෙහිම ජනේල අයිකනයක් සහිත ඇප් එකක් සල්ලාප පෙට්ටියෙන් මතුවිය. ආලියා එය විවර කලේ නොරිස්සුම් "චඃ" හඬක් නඟමිනි.


තිරය මත දිගහැරුනේ විවර වූ ජනෙල් කවුළුවකි. ඒ තුලින් එබී බලන කල්හි තිරයේ ඈත කෙළවරේ වූ එවැනිම තවත් කවුළුවකින් මෙපිටට රිංගා එන කුඩා රුවක් දැකගන්නට ලැබිණි.


"අභි!" ආලියාගේ ඇස් මවිතයෙන් විසල්ව මුව මදක් විවර විණි. 

"ඒ ගමන මොකක්ද ඔයා කරන්න හදන විජ්ජාව?" 


"ඇතුලට එන්න ආලියා. ඇතුලට එන්න!" අභිජිත්ගේ කුහුඹු රුව ජනෙල් කවුළුව අසලට විත් අතවනන්නට විය. "දැන් ඉතිං අර නසරානි මස්සිනාකාරයාට බයේ හැංගිමුත්තන් කරපු කාලේ ඉවරයි." ඔහු උදාරම් ලීලාවෙන් බර අඩි තබා ඔබමොබ ඇවිදිනත'ර කීවේය.


"ඒත්... කොහොමද?"


"ඔය ජනෙල් ගැට්ටට පය තියලා මේ පැත්තට බර වෙන්න ළමයෝ. මං ඔයාව පුළුන් රොදක් වගේ උස්සලා අරගෙන, රිතික් රෝෂන් වගේ රවුම් දෙකක් කැරකිලා බිමින් තියන්නම්."


ආලියා තොල්පට හපාගෙන ඇස් කැරකෙව්වාය. බාගදා මේ තමන් දකින ත්‍රාසජනකම සිහිනය වෙන්නට පුළුවන. ඉතින් ඈ හිතට එඩි ගෙන පයක් ලැප්ටොප් තිරය මත තබා ඉදිරියට බර වුනාය. පැන්නාය!


අභිජිත් 'සාවනිකා මෙහිනා' තාලයට සිවුරුහන් කරමින් ඈ වටා රවුම් කැරකෙන්නට විය. "දැන් කියන්න රත්තරනේ, හොඳම ආදරවන්තයා අර මැරී වැටුන අත්තටුකාර රෝමියෝද, නැත්නම් මමද?" ඔහු සිය නළලට දබරැඟිල්ලෙන් දෙවතාවක් තට්ටු කර උදාරම් සිනහවක් පෑය. "සම්පූර්ණ සෙල්ලම තියෙන්නෙ මෙන්න මෙතන. මොළේ ඇතුලේ. මං පුරා මාස දහයක් මාන්සි වුනා මේ චැට් ගේට්ටුව හදන්න. දැන් අපිට ඉස්සර වගේම හැබෑවටම ලං වෙලා කතා කරන්න පුළුවනි."


ආලියා සෙමින් සිය කන්පෙත්ත කොනිත්තා ගත්තාය. එහෙනම් එය සිහිනයක් නොවෙයි. විස්මයෙන් විසල් වූ ඇගේ දෙනෙත බබලන්නට විය. "ඒ කියන්නේ දැන් අපිට හැමදාම මේ විදියට හමුවෙන්න පුළුවන් නේද අභී?"


ඉනික්බිති ඔවුන් අර කවුළු දෙකට මැදිවූ කුඩා ගැලරිය ඇතුලේ ගිම්හාන උද්‍යානයක් මවාගත්හ. උද්‍යාන බංකුවක තුරුළුව ඇතිපදම් පෙම්බස් දෙඩූහ. උයනේ වම් අන්තයට වන්නට වූ සිඟිති විලක හංස බෝට්ටු පැද්දහ. අන්තිමේ විලේ උන් රන්මාළුන්ට පොරි ඇට අහුරු අහුරු විසිකලහ.




"දැන් පාන්දර වෙන්නත් කිට්ටු ඇති." ආලියා නින්දෙන් අවදිවූවක මෙන් එක්වනම හිස ගස්සා අවට බැලුවාය. 

"අභී! අර බලන්න ඔයාගෙ ජනේලය!!"


"රෑ වෙනවා - එළි වෙනවා. ඕක කාටවත් නවත්තන්න බෑනෙ ළමයෝ. මං මේ චැට් ඇප් එක 'ඇප් ස්ටෝර්' දැම්මා. බලන්නකෝ දැනටම ඩවුන්ලෝඩ්ස් දොළොස්දාස් ගානක්. මං එකපාර ජනප්‍රිය වෙන්නයි, පෝසත් වෙන්නයි යන්නෙ." 


"කෙහෙල්මල් ඇප් ඉස්ටෝරුවක් නෙමෙයි මනුස්සයෝ! බලනව අර කවුළුව. ඒක වැහිලා. දැන් ඔයා කොහොමද ගෙදර යන්නෙ?"


"ආ ඒකද? ඒක මට..." 
අභිජිත් වැසීගිය කවුළුව දුටුවේ එවිටය. 

"ඒක මට අරින්න බෑ ආලියා." ඔහු හිස කසමින් කල්පනා කරන්නට විය. "මං හිතන්නෙ ෆෝන් එකේ බැටරි බැහැලා!"


"කබල් ෆෝන් එක" ආලියා හඬ වඩවඩා සිහින් විය. "පැය ගාණක් මේක අස්සේ ඉන්නවානං අඩුම තරමේ ෆෝන් එක චාජරේට ගහන්න ඕනෙ බව ඔය අතිවිශිෂ්ඨ මොළගෙඩියට මතක්වුනේ නැද්ද? දැං ඉතිං මොකද අපි කරන්නේ?"


"එක විසඳුමයි තියෙන්නේ. පනින්න. ඔයාගෙ කවුළුවෙන් එලියට පනින්න." අභිජිත් ආලියාව ජනෙල් පඩිය මත ඔසොවා තබමින් කීය. "කෝ ඔය අත දෙන්න. මටත් මේ අපායෙන් එලියට පැනගන්න!"


ලැප්ටොප් කවුළුවෙන් පිටතට පිනූ යුවල කළාලය මත හිඳ හතිඅරින්නට වූහ. "පුදුම බේරිල්ලක් නෙව බේරුණේ! හත්වලාමයි ආලියා මෙච්චර පුළුං සත්තු තොගයක් එක්ක ඔයාට මේ ඇඳේ නිදාගන්න ඉඩ ඇතිද?"


ආලියා නිකටේ අත රුවාගෙන කල්පනා කරන්නට වූවාය. "දැන් ඒක නෙමෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්ණෙ. ඔයාව තාත්තටයි අයියටයි නොපෙනෙන්න මෙතනින් එළියට යවන එකයි."


"මෙහෙම! පිජාමා කලිසමකුත් ඇඳගෙන?" අභිජිත් උස් කණ්නාඩි මේසය ඉදිරියේ හිටගෙන හිස වනන්නට විය. "මිනිස්සු හිතයි මං පිස්සෙක් කියලා. ඇයි දෙයියනේ ඔයාට අමතකද! මං මේ චැට් ඇප්ලිකේෂන් එක විකුණලා පෝසතෙක් වෙන්න ඉන්නේ. ඒ මදිවාට ප්‍රසිද්ධිය. මං හිතන් ඉන්නෙ වාහනේ පැති වීදුරු හොඳටම කළු කරන්න."


- ටොක් ටොක් ටොක් -


"ඒයි කවුද එනවා!"

ආලියා යතුර අතට ගෙන, අභිජිත් විසාල පණුවෙක් මෙන් ඇඳ යටට බඩගාන තුරු මදක් ලත වුනාය. ඉන් පසු වෙව්ලමින් දොර හැර, එලියට හිස පොවා බැලුවාය. කවුරුත්ම නැත. 


"එලියට එනවා බයගුල්ලෝ. කවුරුත් නෑ!" මකුළු දැල් වැකි හිසෙන් යුතු අභිජිත්ට දිවදික්කර ඇදකරමින් ඈ දොර අගුළු දමන්නට විය.


"ඉක්මනට පැනපං එලියට. කෝ අත දීපං මෙහාට!" ඊළඟ මොහොතේ ලැප්ටොප් තිරය ඇතුලෙන් කාමරයට පැනගත්තේ පිරිමි ළමුන් තිදෙනෙකි. 

"කොරේ පිටට මරේ කිව්වලු! යකෝ මේක කෙල්ලෙක්ගේ කාමරයක්!" එකෙක් චටස් ගා නළලට අත්ල පහරක් ගසාගනිමින් කීය.


"කවුද ඔහෙලා!!"
අභිජිත් පුරුෂ ධෛර්යය නංවාගනිමින් පපුව ඉදිරියට දමා සැර හඬක් මවාගත්තේය. 


"අපි කෙහෙල්මල් චැට් ගේට්ටුවක් දමාගත්තා ෆෝන්වලට. ඒක ජනේලයක් වගේ විකාරයක්. ඔහේ කිව්වට විස්වාස කරන එකක් නෑ, ඒ ජනේලෙන් පැනලා අපිට ඕනෙ තරං වෙලාවක් සෙට් වෙලා කියවකියවා ඉන්න පුළුවං. කොහොමත් ඉස්කෝලෙ හෙඩ්මාස්ටර්ගේ වත්තට අහස්කූරු යවලා මාට්ටුවෙලා අපි පහුගිය සතියෙම හිටියෙ නිවාස අඩස්සියේ."


තරමක් මිටි, මහත කොලුවෙක් ඊළඟට හඬ අවදි කරන්නට විය. "අපි ආපහු යන්න බලනකොට ජනෙල් සේරම වැහිලා. හොඳ ගඩොල් බාගෙකිනුත් පතබාලා බැලුවා ඒත්  ජනේලෙ කඩාගන්න බැරිවුනා. එවුවා යකඩ වගේ හයියයි!"


ඒ කියන්නේ තමන්ගේ සොයාගැනීමෙන් ප්‍රයෝජන ගෙන ඇත්තේ ආදරවන්තයන් විතරක්ම නොවෙයි! අභිජිත්ට ආඩම්බර හිතුනි. ඒත් සමඟම ලැප්ටොප් තිරයට එපිටින් ඇසෙන්නට වූයේ සිහින් ඉකිබිඳුමකි. දැරියකගේ කඳුළු වැකි දෙනෙතද, ජම්බලක් මෙන් රත් පෑ ගැනුණු මුහුණද කාමරය තුලට එබෙන්නට විය.


"අනේ කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න?" පිරිමි ළමුන් තිදෙනා එකිනෙකා පරයමින් ඉදිරියට පිනූහ. ගැහැණු ළමයාගේ හිසකේවලින්, උරබාහුවලින් සහ ඉඟටියෙන් අල්ලාගෙන කාමරය ඇතුලට ගන්නට ඔවුන් තිදෙනාම සමෝසමේ උනන්දු වෙන බව පෙනුණි.


"එයා කිව්වෙ නම් පණ වුනත් දෙනවා කියලා. ඒ වුනාට කවුළුව වැහිලා ගෙදර යාගන්න බැරිවුනාම මට එයාගෙ කාමරේ ඇතුලට එන්න දෙන්න බෑ කියලා දොර වහළ දැම්මා." ඈ අනුනාසික හඬකින් තෙපලාය.


"අභි!" 

ආලියා තමා ද මේ මොහොතේ, මේ කාමරයේ හුස්ම ගන්නා ගෑණු ළමයෙක් බව පෙන්වා දෙමින් දත් කූරු සපන්නට වූවාය. "ඇප් එකට ඩවුන්ලෝඩ් කීයක් තිබුනා කියලද ඔහේ කිව්වේ?"


අභිජිත් දුබල කෙඳිරියක් පිටකලේය.

"දොළොස්දාහක්!"



Saturday, January 28, 2017

සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017



සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.


පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ මනාල යුවල් කැමරාවලට හිනාවෙන්නේ හිතට ගෙන එඩි.


අපි ඇදෙන්නේ කොටු පවුර පැත්තට. උදා  හිරු කිරණින් නැහැවුණු පඩි එකින් එක තරණය කරමින් ඉහළටම නැඟ පහල ඇත්තේ මොනවාදැයි බලන්නයි අදිටන. ඔන්න, එක්වරම එතන පහලව ඇත්තේ සුරපුරය!


ලා නිලෙන් දිදුලන සුපැහැදිලි මුහුදු දිය. ඒ මැදින් තැනින් තැන සුපුෂ්පිත කොරල් මල් ය. නො එක් පැහැ මාළු ඒ අතර ලලිත ගමනින් සක්මනක. සුරපුරට හිස පොවන්නට කැමැත්තෝ, ස්නෝර්ක්ලින් ආම්පන්න ඇඳ පැළැඳ විසල් ආඳා මාළුවන් මෙන් පිහිනුම් රස්තියාදුවක.


ඒ සෙනසුරාදාවක්. ගාලු සාහිත්‍ය උළෙලට අළුතෙන්ම එක්වුණු ‘සිංහල සාහිත්‍ය වැඩසටහන්’ යෙදී තිබුණේ එදාට. ඉතින් අපි දැන් චර්ච් ස්ට්‍රීට් පසු කර ‘හෝල් ඩි ගෝල්’ වෙත එලැඹෙන්නේ රෙජිස්තර වෙන්න. ඒ ඉදිරිපිට සිනා පපා මග බලා උන්නේ ‘අමිලානිය’. 



මිල ගෙවා ඇතුල් විය හැකි වැඩසටහන් ද, නොමිලේම සහභාගි විය හැකි රස කැටිතිද, සමෝසමේ ලැයිස්තුගත කල පොත් පිංච අතට ලැබෙන්නේ ‘ඒ චීස් කනවද – මේ චීස් කනවද’ හිත හිත තාවර වෙන තැනට අපිව ඇද දමමින්. සිහිල් තුරු හෙවන යට, වෛවර්ණ බීන් බෑග මත වැතිරගත් රසවතුන්ගේ සාහිත්‍ය සංවාද මණ්ඩප පහු කරගෙන අපි ඇදෙන්නේ ‘මැරිටයිම් මියුසියම’ වෙත.


ජස්ට් ඉන් ටයිම් – ‘නූතන කවියේ හරස්කඩක්’ සංවාදයට.

සුනන්ද කරුණාරත්, කල්පනා ඇම්බ්‍රෝස්, ඉසුරු චාමර සෝමවීර, ලියනගේ අමරකීර්තිගේ සංවාද මෙහෙයවීම මැද තම තමන්ගේ කවි රෙසිටේෂන් ඉදිරිපත් කරමින්, ප්‍රශ්ණවලට අව්‍යාජ පිළිතුරු ලබාදෙමින්, අසන්නන්ගේ පැනවලට හයේ හතරේ පහර එල්ල කරමින්.




ඉන් පස්සේ සිංහල දිනයේ යෂ්ඨිය බාර ගන්නේ අනෝමා රාජකරුණා. ‘සිංහල නවකතාව සහ කාන්තාව’ ගැන කතාකරන්න ඈ එක්ක එකතු වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක සහ සේපාලි මායාදුන්නේ.

සුනේත්‍රා ඇගේ ‘කෘත්‍රිම දූපත්’ නවකතාවේ කොටස් කදිමට හඬ නඟා කියවනවා. මට මතක් වෙන්නේ ගුවන්විදුලි හඬ නළුවක්. “ගෑණු කියලා තමන් ඇතුලෙම හිරවෙන්න එපා. ලියන්න – ලියන්න – නිදහසේ ලියන්න. ඔය හිරවෙලා ඉන්න තැනින් එළියට එන්න.” කියන සුනේත්‍රාට මම පාවෙන හාද්දක් යවනවා.




ඒත් එක්කම ඇරඹෙන්නේ ෆෙයාවේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත නවකතාවල කතුවරුන් සමඟ කෙරෙන සංවාදය. අධික කුසගින්න නිසා අපි මැරිටයිම් මියුසියමෙන් එළියට බැහින්නේ කෑම සුවඳට නාසා සුසර කරගෙන. මෙන්න! කොළඹ ඉඳන් ගාල්ලට ඇවිත් ‘ගුඩ් මාරකැට්ටුව’! 


“හැමදාම කන ජාති නැතුව අද වෙනස්ම වෙනස් දෙයක් කමුද?” පුංචිම පුංචි කූඹිත්තෙක් සයිස් වුනාට කල්පනා ඇම්බ්‍රෝස්ට තියෙන්නේ ලොකූම ලොකු බඩගින්නක්. පේලියට හිටගෙන අපි දිහාට විරිත්තන වෙස් මූණු එක්ක වුනත් හිනාවෙන්නේ ඉසුරු. ‘ටින්ටස් ඇණ සමග බෝල සබන්’ වර්ගයේ කෑමක් හොයාගෙන ගියත් අන්තිමට අපිට කන්න වෙන්නේ පොල් සම්බෝල එක්ක චීස් පුරවපු රෝස්ට් පාන් සැන්ඩ්විච්. රොමෑන්ටික් පාට ස්ට්‍රෝබෙරි-දෙහි කැලතුමකින් රෝස්ට් පාන් ගලනාලය දිගේ පහලට තල්ලු වෙලා යනවා.





අර ඉන්නේ ‘දමිත්’. ‘තෙමි තෙමිම මම’ ලියපු දමිත් උදයංග දහනායක! ඉන් පස්සේ හැමෝම කලාතුරකින් අල්ලාගන්න ලැබෙන මේ කවියා එක්ක සල්ලාපයක. ලියනගේ අමරකීර්ති, අනුරසිරි හෙට්ටිගේ, ටෙනිසන් පෙරේරා, එරික් ඉලෙයප්පාරච්චි, කමල් පෙරේරා, දේ.වි. ගාල්ලගේ, භූපති, සුනේත්‍රා, පියසීලි විජේමාන්න, ප්‍රභාත් ජයසිංහ, දිලීප අබේසේකර, ශෙහාන්, පියල් කාරියවසම් ආදී මෙකී නොකී ලේඛක ලේඛිකාවන් වටා රොද බැඳගත් සාහිත්‍යලෝලීන්.


කාංචනාව දකින දකින වාරයක් ගානේ සැලියුට් ගහන්නේ ශ්‍යාම් සෙල්වදොරෙයි! ඒ කියන්නේ අර හැමෝම එක්ක හිනාවෙමින්, පිටට තට්ටු කරමින් සැහැල්ලුවක් කරේ ලාගෙන ඇවිදින කෙට්ටු මනුස්සයා ශ්‍යාම්ද!


‘නූතන සිංහල කෙටිකතාවේ තේමා ප්‍රවේශයන්’ ගැන කතාකරන්නේ ප්‍රභාත් ජයසිංහ සමඟ පියසීලි විජේමාන්න. සාකච්ඡාව මෙහෙයවීම පියල් කාරියවසම්. “මකර තොරණ කෙටිකතා එකතුව මා විස්මපත් කලා.” මම ප්‍රභාත් හොයාගෙන යන්නේ ඒ ගැන කියන්නයි. “මේ බස්සිද?” තමන්ගේ ප්‍රියතම ලේඛ්හකයෙක් බොහොම සාමාන්‍ය විදියට එහෙම අහනකොට අමන්දානන්දයට පත් නොවී ඉන්නට පුළුවන් අයත් ඇතිද?




සිංහල දිනය හමාර වෙන්නේ ‘චයිනමන් නවකතාව සහ එහි පරිවර්තනය’ මැයෙන් හර්ෂණ රඹුක්වැල්ල මෙහෙයවන සංවාදයෙන්. ශෙහාන් කරුණාතිලක සමග දිලීප අබේසේකර පන්දුවෙන් පන්දුවට නොබිඳෙන සබඳතාවයක් පවත්වා ගනිමින් ප්‍රේක්ෂකාගාරය රස ගුලාවක ගිල්වමින්. ඒ හැර යන්නට සිත් නොදෙයි. තව ඇබින්දක්, ඇබිති විනාඩි පහක්, අනේ තව තත්පර දෙකක් ශෙහාන්ගේ කතා අහගෙන මැරිටයිම් මියුසියම් පොළොවේ මුල් අදින්නම හිතෙයි.




ලිප්ටන් තේ කාමරය එන්න එන්නැයි අතවනයි. තේ පුසුඹ දාහය තවාලයි. ලා කොළ පැහැ උණු උණු තේ ය. වීදුරු තේ බඳුන් තුළ ගිලී දියවී මැරෙන්නට හිත හදාගත් අයිස් කැබැලි ය. අඹ, අන්නාසි, දොඩම් රසයෙන් රසකල සීත තේ ය. එහෙව් තේ බඳුන් මැද පාට පැන්සල්වලින් සහන් කසීරගේ ආලේඛ්ය සිතුවමක් අඳින මයන්ත පෙරේරා ය. චිත්‍රයකට වුනත් හැඩට ඉන්නට ඕනෑ බව කියමින් කොලරය සකසා විලවුන් තවරන සහන් කසීර ය.


ඔය සේරෝම කලබල අතරේ තේ කාමරයෙන් පැනනගින්නේ උමාරියා සිංහවංශ. අත්පොළසන්ද, ඔල්වරසන්ද මැදින් තේ සුවඳ හා කැලතී ගලන්නේ ගිටාරෙක තත් පිරිමැදෙන මුදු සුමුදු හඬ. උමාරියාගේ මනබඳින රන්ස්වර. යලියලිත් ගිගුම් දෙන ඔල්වර හඬ.




ඉතින් ඒ තමා ‘ගාලු සාහිත්‍ය උළෙල’. කොළඹ කේන්ද්‍රීයයි කියා බැණුම් අහන සිංහල සාහිත්‍ය ගාල්ලට ගිය දුලබ අවස්ථාව. සාහිත්‍යයට නියම ‘මිලක්’ ඇති බව දැනගන්නත්, ඒ ‘මිල’ ගෙවන්නට තරම් උනන්දු රසවතුන් පොදි පිටින් කොළඹින් පමණක් නොවෙයි ඉන්දියාවෙනුත්, ලෝකයේ තවත් බොහෝ අහුමුළුවලිනුත් ගාල්ලට එක් රැස් වූ හැටි දැකගත් දවස. ලබන වසරෙදිත් එලැඹෙන තුරා, පුල පුලා බලා ඉන්නා දවස!



(සේයාරූ සඳහා සාදර අනුග්‍රහය, කාංචනා අමිලානි කරුණාමුනි මෙනෙවිය විසිනි.)