Sunday, February 28, 2016

පිස්සු!!! (හීන සාප්පුවකට යමුද?)





අප්‍රිකානු කෙල්ලෙක්ගේ වගේ මගේ තොල් මහතයි. හම දුඹුරු කහ පාට. ඔයා කැමතිම පාට ඒක කිව්වට ඔයාගේ ආසම පාට "දම්" පාට බව මම පස්සේ දැන ගත්තා. එකම තේරුම වගේ පෙනුනට කැමතියි ආසයි කියන්නේ අහසයි පොළවයි වගේ වෙනසක් තියෙන වචන දෙකක් වග තේරුම් ගත්තේ ඔයාගෙන්. ඒ වෙනුවෙන් ජපන් කෙල්ලෙක් විදිහට අංශක අනූවට නැමිලා " ස්තූතියි" කියන්න කැමතියි. ඔයාගේ කට කොණක ඉදිආප්ප රැල්ලක් ඇලවිලා. ඉන්න මම ඒක අහක් කරන්නම්.


ඔයාට ඉදිආප්ප කිව්වොත් වෙන මුකුත්ම ඔනි නෑ. ඒත් මට හොඳටම විස්වාසයි ඔයාට තුන් වේලටම ඉදිආප්ප දුන්නොත් ඔයාට ඉදිආප්ප එපා වෙන වග. ඒ ඔයාගේ හැටි!! මම ඒකත් හොඳටම දන්නවා. බැඳීම් හැමදෙයක්ම හිටගෙන ඉන්නේ කෑම උඩ. ඔයා වුනත් දවසට විසිතිස් වතාවක් මගෙන් අහන ප්‍රශ්නේ "සුදූ ඔයා කාලද?". මමත් එහෙම අහන කන්  ඉන්න පුරුදු වෙලා. සමහර වෙලාවට කාලා හිටියත් "මට කන්න බෑ වගේ අද" කියන්න මම ආසයි. පස්සේ ඔයාගේ බැනුම් කෙළකෝටියට අහු වෙලා තෙමෙන ගමන් ආදරෙන් තෙත් වෙන්න කැමතියි. හොඳට කියවන්න කලින් වාක්‍යය. මම එතන කැමතියි ආසයි කියන වචන පාවිච්චි කරපු විදිහ ගැන.


ඔයා දන්නවා මට පිස්සු වග. මම මොකක් හරි විකාරයක් කිව්වම "මගේ පිස්සි" කියලා කියන්නේ කයි ඔයා. ඒ ආදරේට. ඒත් ගෙවල් පැත්තේ ගෑනු පිස්සි කියන්නේ ආදරේට නෙමෙයි. එක වචනෙට හැඟීම දෙකක්. ඔයා දන්නවා මාසයකට සැරයක් මම කවුන්සිලින් යන විත්තිය. එයාලා කියන්නේ මට පිස්සු නෑ මානසික රෝගයක්ලු තියෙන්නේ. හැමෝටම හැදෙනවලු. ඒත් ඒ හැමෝම ඒ වාට්ටුවට කියන්නේ පිස්සු වාට්ටුව කියලා. "සබ්බේ සත්තා උන්මත්තකා"ලු නේද?


මට වෙලාවකට හිතෙනවා ඔයාගේ බෙල්ල මිරි කන්න. තුවායක් වගේ මිරිකලා ඔයාගේ ඇඟෙන් ඔයාව නිස්සාරණය කරගන්න. පස්සේ පව් කියලා හිතෙනවා. ඔයා මැරෙන්න බයයිද? මම නම් බයයි. ඔයාට පිස්සු නැති නිසා ඔයා බය නැතිව ඇති නේද? මේ බෙහෙත් වලට හරියට නින්ද යනවා. ඒකයි ඔයාගේ කෝල් වලට ආන්ස්වර් කරන්න බැරි වෙන්නේ. නැගිට්ටාට පස්සේ නාන්න ඔනි. හරියට වැඩ. වැඩ අස්සේ ඔයාට කතා කරන්න බෑ. මට හිත් ගොඩක් නෑ නෙහ්. පිස්සු කෙල්ලෙක්ටත් තියෙන්නේ එක හිතයි.


කෝ මේ වඩේ එක කන්න. ඔයා කන්නේ නැත්නම් කියන්න. මම හැන්ඩ්බෑග් එකේ දාගෙන යන්නම් ගෙදර. "සුරතලි" ආසයි වඩේ කන්න. අපි දැන් මෙතනින් යමුද? පයින් යන්න නම් බෑ. කකුළ් රිදෙනවා. ඔයා මාව උස්සගෙන ඉගිලිලා යන්න. තටු  නම් වස කරදරයි. තටු ගහලා ඉගිලෙන එන මහන්සියි. ඔයාට තියෙන්නේ වළාකුළු වගේ පාවෙන්න. වළාකුළු යන දිහාවකට මාවත් එක්කගෙන යන්න. ඔයාට වාහනයක් නැති එක හොඳයි. මට නැත්නම් බය වෙන්න වෙයි ඔයා හැප්පිලා මැරෙයි කියලා. එහෙම වුනා නම් මිනිය කැත වෙනවා. හැප්පිලා මැරුනත් මූණ පරිස්සම් කරගන්න. 


ඔයා බයයි නේද මගේ අතින් වත් අල්ලන්න. මෝඩයෝ! කෙල්ලෙක්ට කන්න අරන් දුන්නාට මදි. අතපත ගාන්නත් ඕනි. ඉබින්නත් ඕනි. උම්මා දුන්නා කියලා බඩ දරු වෙන්නේ නෑ. වුනත් මොකෝ. ඔයා බඩ වෙන්නේ නෑ නෙහ්...! ඒකත් මට නෙහ් ඉතින්. අපි විහාරමහදේවි එකට යමු. එතන කපුටෝ කක්කා නොකරපු බංකුවක් හොයාගෙන වාඩි වෙමු. මම ඔයාට ඇහෙන්න සින්දුවක් කියන්නම්. ඔයාට තියෙන්නේ අහගෙන ඉන්න. අහගෙන ඉන්න විතරමයි හරිද?



***************



කන වෙලාවට කතා කරන්න එපා කිව්වට ඔයා කැමතිම කොයි වෙලාවෙත් චූටි කිරිල්ලියක් වගේ කියවන්න. ඔයාට හැමදේම පේනව. මගෙ උඩු තොලේ දකුණු කෙලවරට වෙන්න ඇලිලා තියන ඉඳිආප්ප රැල්ල පවා ඔයාට පේනව. දන්නවද? අපේ අම්මත් ඔය වගේ. ඉස්සරහට නැමිලා පරිස්සමට මගෙ කට වටේ තැවරිච්ච පාන් කුඩු චීත්ත පොටෙන් පිහදානව. ඊට පස්සෙ තෙල් හලලා ඉස්මුදුන පිටි අල්ලෙන් තලලා තමයි කොණ්ඩෙ පැත්තෙන් බෙදන්නෙ. තෙල් ගෑවිච්ච අත්දෙක චීත්තෙ පිහදාගෙන පවුඩර් කුඩු ටිකක් අල්ලෙ පොඩි කරලා කම්මුල් දෙකේම අතුල්ලනවා. ඒ මුළු වෙලාවෙම අම්මා මොනමොනවදෝ කියවනව. කියවිල්ල නවතින්නෙ ඇස් දෙක හීනි කරල මගෙ මූණ දිහා ආදරේ උතුරන්න බලන් ඉන්න වෙලාවට විතරයි. ඔය ඔය, ඔයා බලන් ඉන්නෙ, අන්න ඒ වගේ! 


ලෝකෙ ආපස්සට කැරකිලා ආපහු පුංචි කාලෙට යන්න තියෙනවනම් මං කැමතියි. අම්මගෙ හීන් ඇස් දෙකට තව එකපාරක් එබිලා බලන්න තිබුණනම් මං ආසයි. ඔයාට තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක.


බෙහෙත් කෝස් එක ඉවරවෙනකම් ඔයා හොඳට කන්න ඕන. මේ බේත්වලට ඇඟ වේලනවා. කෙට්ටු ගැහෙනවා. බලන්න බටර් පාට සුරංගනාවියක් වගේ හිටපු ඔයාගෙ ඇඟේ හැටි! මට දුකයි. ඔය වඩේ එක ගත්තෙ ඔයාට. ඉඳිආප්ප දහයක් කාලා එක උස්මට වතුර වීදුරු තුනක් බීගත්තාම බඩ ගල් ගැහෙනවා. නෑ! එහෙම වෙනවා කියල මම හිතනවා. හිත තමයි ලු හැමදේටම මුල් වෙන්නෙ. ඉඳිආප්ප දහයක් කෑවම උස්මුරුත්තයි කියල හිතන්න පුරුදුවෙන එක අමාරුයි තමා. 'සුරතලී'ටත් අමාරු ඇති, පැටව් පස්දෙනෙක්ට කිරිදෙන්නත් එපායැ. ඇඟපතේ අමාරුව. ඒක හිතේ අමාරුවට තරම් දරුණු නෑ. ඒත් නොසලකා ඉන්න බෑ. ඒ කොයිහැටි වෙතත් ඔය වඩේ එක ඔයාට. මං සුරතලීට දෙන්න චූං පාං කරත්තෙන් අඩුවට පරණ පාන් බාගයක් අරං දෙන්නම්කො. හොඳ ළමය වගේ කන්න.


අපිට වාහනයක් තිබුන නම් අම්මා කහ ඉර උඩදි හැප්පිලා මැරෙන්නෙ නෑ. වාහනේකින් ඔයාව ඉස්කෝලෙ ගාවට උදේ හවා එක්කන් යන්න, එක්කන් එන්න පුළුවන් උනානම් ඔයා සුදුගවුම පිටින් දිලිසෙන රතු කාර් එහෙක නැගලා නොදන්නා පාරවල්වල අතරමං වෙන්නෙත් නෑ. වාහන අයිතිකාරයො දිව්‍යලෝක සම්පත් විඳින්නෙ නැති බව ඇත්ත. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ එයාල ජීවත් වෙද්දි අපි මැරෙනවා. නැත්නම් මැරි මැරි උපදිනවා.


ඔය වඩේ එක කන්න හොඳ ළමය වගේ. නැත්තම් මං කවන්නද? ඉක්මනට කාලා දුවමු වාට්ටුවට. උම්මා දුන්නා කියල බඩදරු වෙන්නෙ නෑ. අඩු මාසෙන් ඉපදිච්ච ඔයාගෙ සේපාලිකා මල මට 'මාමේ' කියන්නත් කලින් ඇස් පියාගත්තු වග ඔයා දන්නෙත් නෑ. දැනගන්න ඕනෙත් නෑ.


පරිස්සමට නැගිටින්නකෝ. මං ඉන්නවනෙ. ඔයා ආයෙම ඉස්සර වගේ හුරුබුට්ටං තාලෙට ඇස් නටවලා 'සුදු අයියා' කියනකම් මං ඔයා ගාවම ඉන්නවනේ. ඇයි ඊට පස්සෙත්, හැමදාටමත් මං ඔයාව මලක් වගේ, ඇහැක් වගේ බලාගන්නවනෙ.


තවමත් කියෝනව. පිස්සු වාට්ටුවට හැරෙන්නෙ මෙතනින් පිස්සියේ. ඔයා හරි. ඒ පිස්සුවයි, මේ පිස්සුවයි දෙකක්. මං කියන්නෙ හැඟීම! 


ඉතින් කියන්න. මං අහගෙන ඉන්නෙ. පිස්සි!




ප.ලි.


මේ කතාවේ පළමු කොටස ලියන්නේ 'අමාගේ හීන සාප්පුව' ලියන විසල් සේනාතිලක. ඒ කෙටිකතාවකටත් වඩා කලබලයේ ඔහේ ලියැවුන ෆේස්බුක් ස්ටේටස් එකක් විදියට.


බස්සාගේ එකවුන්ට් එක හරහා ඒ ස්ටේටස් එක අපි දෙන්නා කියවනවා. ඉන් පස්සේ මගෙන් ඒකට පිළිතුරක් ලියැවෙනවා. විසල්ට යවපු ඒ පිළිතුර අමුණලා විසල් මේ කෙටිකතාව එයාගෙ බ්ලොග් එකේ දානවා.


කවි-කෙටිකතාවලට වෙන් වුන නිර්මාණාත්මක බ්ලොග් අඩවිවලට, සිංහල බ්ලොග් අවකාශය තුලදී 'දේශපාලන සහ කාලීන' මාතෘකා යටතේ ලියවෙන බ්ලොග් අඩවිවලට තරම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඒ හැටි. ඒත් අමාගෙ හීන සාප්පුවට වරක් දෙකක් ගොඩවැදිලා බලන්න. 


තවම පාසැල් වයසේ පොඩි එකෙක් නිසා වැඩියෙ බ්ලොග් අවකාශය ඇතුලෙ තෙම්පරාදු වෙලා නැහැ. එක්සෑම් නිසා නිතර කමෙන්ට් කරන්න ජාලගතවෙන්න එහෙමත් තහංචි!


කොහොමින් කොහොම හරි ෆේස්බුක් වෝල් එකේ ලියලා කාලයත් එක්ක අතුරුදන් වෙන්න නියමිතව තිබුන නිර්මාණ විසල් බ්ලොග් අඩවියකට එක්කාසු කරනවා. යමු. අපි හීනයක් දෙකක් රහ බලලා එමු.


බූන්දියේ පලවුන විසල්ගේ ලස්සන කෙටිකතාවක් මෙතනින් බලන්න.




Thursday, February 25, 2016

අහඹු හාදකම්





හාදකම් කියන්නේ හරිම සුන්දර දෙයක්. නීරස ජීවිතේට හුස්ම පිඹින්නේ හාදකම්, අයාලේ පාවෙනකොට අරමුණක් පෙන්වන්නෙත් හාදකම්, සීතලම සීත සෘතුවක කෝපි දුමාරයක් වගේ හිත උණුහුම් කරන්නෙත් හාදකම්.


හාදකම් විවිධාකාරයි. පවුලත් එක්ක, නෑදෑයෝ, අසල්වැසියෝ එක්ක, නිතර මුණගැහෙන ගමන් සගයින් එක්ක ගොඩනැගෙන හාදකම් ස්වාභාවිකයි. ඒ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් විදියටයි හැඟෙන්නේ. ඒ ජාතියේ හාදකම් බොහොමයක් ස්වභාවයෙන්ම අපේ සම්, මස්, නහර තුලටම කිඳාබහිනවා. නිතර දෙවේලේ දකින්නට, කතාකරන්නට ලැබෙන නිසා ඒ හාදකම් බොහොම ප්‍රභලයි. 


ඒ වගේම, කිසිම සැලසුමකට අනුගත නොවන, අහම්බෙන් වගේ අපේ හිස මතට, හරියටම කියනවානම් 'හිත මතට' කඩාවැටෙන හාදකම් ගැනත් ඔයාලට අත්දැකීම් නැතුවා වෙන්නට බැහැ. සමහර වෙලාවට එවැනි හාදකම් එක්වරම අපේ ජීවිතය ඉස්සරහ පැනනගිනවා. බූවල්ලෙක් වගේ අඬු විහිදලා අපිව වෙලාගන්නවා. බොහෝ කාලයක ඉඳන් දැන හඳුනනවා වගේ හැඟීමක් දනවනවා. ඒ එක්කම අපිට 'සාංසාරිකයි' කියන වචනේ නියම අර්ථය හමුවුනා වගේ හිතෙන්නට පටන් ගන්නවා.


කෝච්චියේදි අහම්බෙන් දකින මුහුණක්, මාස දෙකතුනකට පස්සේ ඔයාගේ හොඳම මිතුරිය බවට පත්වෙන්නට පුළුවනි. ටියුෂන් ක්ලාස් එකේදී අහම්බෙන් පැරණි සටහනක් පිටපත් කරගන්නට පොත ඉල්ලාගත්තු පිරිමි ළමයා ටික කලකින් ඔයාගෙ පෙම්වතා වෙන්නත්, වසර ගණනකට පස්සේ සැමියා වෙන්නත් පුළුවනි. අළුතෙන් පාසලට ආපු ගණිත ගුරුතුමිය ඉදිරි අවුරුදු විස්ස විසිපහ ඇතුලත ඔයාගෙ හොඳම හිතවතිය සහ ජීවන උපදේශකවරිය වෙන්න පුළුවනි. 


අහඹු හාදකම් ඒ වගේ, පටන් ගන්නා මොහොතක් හෝ අවසාන වෙන මොහොතක් ගැන අනාවැකි කියන්නට බැහැ. කොයි අතට ගමන් කරාවිදැයි නිශ්චය කරන්නටත් බැහැ. එය හරියටම කුඩා මාලිමාවක් පමණක් අතැතිව, නම නොදන්නා සුන්දර පලාතක අතරමං වීම වගෙයි. ඉදිරි ගමන බොහොම සුන්දරයි. නමුත් පය පැකිලී බිම ඇද වැටෙන්නට, විෂ දලැති කෘමි සතෙකුගේ ප්‍රහාරයකට ලක්වෙන්නට, දෙඇස රතු වෙන්නට විතරක් නොවෙයි මංමුලා වෙන්නට පවා පුළුවනි. පෙර සැලසුමකට අනුගත නොවෙන ගමනක් කියන්නේ එහෙමයි.


නමුත් ඔයාගේ අතේ මාලිමාවක් තියෙන බව අමතක කල යුතු නැහැ. මේ මාලිමාව වෙන කිසිවක් නෙමෙයි. අපේ මොළය, බුද්ධිය, අත්දැකීම්වලින් ලබාගත් දැනුම. ඉතින් මාලිමාව හරි විදියට පාවිච්චි කලොත් අතරමග නතර වෙන්නට, අතරමං වෙන්නට තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. මොළය කියන මාලිමාව අපි හැමෝටම උපතින්ම ලැබෙනවා. එය නිසි ආකාරයට හසුරුවන වගකීම තියෙන්නෙ අපේ අතේ.


ඉතින්, සැලසුම් සහගත හාදකම් වගේම අහඹු හාදකම්වලත් මිහිර විඳගන්න. හදවතින් රසවිඳින්න. ඒත් මොළය කියන මාලිමාව කිසිම විටක අමතක කරන්න එපා. ජීවිතේ සුන්දර සුවිසැරියක් වෙන්නේ එතකොටයි.




Friday, February 19, 2016

ඒඩ්ස් සහ ඉසකුඩිච්චි





ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න දෙන්නට බැරිය.


උදාහරණෙකට එච්.අයි.වී. ඒඩ්ස් ගනිමු. ඒඩ්ස් ඇඟේ තියෙනවාදැයි බැලූ බැල්මට කියන්නට බැරිය. ඉහෙන් බහින ලෙඩක් නැති එකේ පන්තියේ කොලුගැටයෙකුගේ ඇඟේ පවා එච්.අයි.වී. වෛරසය හැංගී ඉන්නවා විය හැකිය. ඒ නිසා අපි හැමවෙලේම සැකයේ වාසියට ඉඩ දෙන්නට ඕනෑය.


පාරම්පරික හෙල වෙද පරම්පරාවල්වලින් පැවත එන සිරිලංකාවාසී ජනතාවට බොහෝ වෙලාවට ලෙඩෙක් අඳුනාගන්ට ඔය සංකර රුධිර පරීක්ෂාවල්, ස්කෑන්, එක්ස් රේ අරවා මෙව්වා උවමනා නැත. වෙනකක් තබා නාඩි අල්ලන්නට වුවමනා වෙන්නේද නැත. පරම්පරා විස්තර ගැන ගම් තුලානේ ඇවිදින අබිලිං කෙනෙක්ගෙන් අසා දැනගත්තානම් හොඳටම ඇතිය.


රතගායේ සිට සීකා වෛරසය දක්වාත්, ගලපටලයේ සිට මුඛ පිලිකා දක්වාත්, මද සරුභාවයේ සිට එච්.අයි.වී. දක්වාත් සියලුම රෝග විනිශ්චයන් ටක්කෙටම තහවුරුකරගන්නට ලැබෙන්නේ එතකොටය.


ප්‍රතිකර්ම හරි සරලය. මූණ ඉස්සරහට සම්මුඛ වූ විට කාරා කෙළ ගැසීම, ගේ ඉස්සරහ පාරේ යනවිට හඬ නගා ඇනුම්පද කීම,  ප්‍රසිද්ධ ස්ථානවලින් කොන් කිරීම  වැනි සරල කෙම් ක්‍රම ඉන් සමහරකි. තත්වය වඩාත් දරුණු නම් හවස් ජාමේ ගෙදර වහළයට ගල් ගැසීම වැනි සංකීර්ණ ප්‍රතිකාර වෙනුවෙන් එක මවකගේ දරුකැලතක් මෙන් නොපමාව රොදබඳින්නට මෙකී වෙද ඇදුරෝ පසුබට වෙන්නේ නැත.


බටහිර කුමන්ත්‍රණකාරයෝ කොහොම කිව්වත් බොහොමයක් ලෙඩරෝග කිවිසීමෙන්, කැස්සෙන්, ස්පර්ශයෙන් පමණක් නොව ළඟින් ඉඳගෙන සිටීමෙන් පවා බෝවෙන්නට පුළුවන් ය. චිත්ත ක්වොන්ටම් හුවමාරුවෙන් පවා ලෙඩ එහෙ මෙහෙ පනින්නට, හුවමාරුවෙන්නට පුළුවන් ය. 


වෙන එකක් තබා කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් විජේසේකර මහත්තයා පවා කැට තියා කියන්නේ තමන්ගේ අධ්‍යාපන කලාපයේ ලෙඩ්ඩු තියාගන්නට බැරි බවය. ඒ කලාපයේ පාසැල් දහයකට අධික සංඛ්‍යාවක ප්‍රින්සිපල් සෑර්ලා/මැඩම්ලාත් ඒ ගැන සාක්කි තියා ඇත.


ඉතින්, එකේ පන්තියට ඇතුලත් වෙන්නට පුල පුලා බලා උන් පොඩි එකෙක්ට තමන්ගේ පියා මියගියේ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනයෙන්යැයි ගමේ පැතිරගිය කටකතාවක් නිසා පාසැලක් ලැබෙන තුරු ගස් යට උපවාස කරන්නට සිදුවෙනවාය.


නිවීහැනහිල්ලේ කල්පනා කර බලනකොට, මේ කතාව ඇත්තය. ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය.


ප්‍රින්සිපල් පට්ටම්, අධ්‍යාපන අධ්‍යක්ෂක පට්ටම් කියන්නේ මොලේ අමාරුකාරයන්ට දාන ඉසකුඩිච්චි නෙමේය. ලකේට ඇඳපැළඳගෙන ඉස්කෝලවලට ආවත් මේ වගේ ලෙඩ්ඩුන්ගේ මොළවල තියෙන මෙහෙව් විසබීජ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරම්පරාව වෙත නිරාවරණය වීම ඉතා අවදානම්ය.


ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න 
දෙන්නට බැරිය.

ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය!







Wednesday, February 17, 2016

වේලිච්ච හදවත් පොඟවන්න





වැලන්ටයින්ස් ඩේ එක, එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දවස පහුවෙලා දවස් දෙකකුත් ගතවෙලා. පෙම්වතුන්ගේ දවස අපේ සංස්කෘතියට තරමක් ආගන්තුකයි. අපේ වැඩිහිටි පරම්පරාවේ සමහරු පෙම්වතුන්ගේ දිනය හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරන්න ආපු පරදේසක්කාර සිරිතක් කියලා. ඇත්තටම ඒක එහෙමද? මම නම් ඒ කතාවට එකඟ නෑ.


ඇස් ඇරලා පොඩ්ඩක් අපි අවට බැලුවොත් පෙනේවි, අද කාලෙ හොයාගන්න අමාරුම දෙයක්, ලබාගන්න දුෂ්කරම දෙයක් තමයි ආදරේ කියන්නෙ. මොන්ටිසෝරි යන පොඩි එකාගෙ ඉඳන්, රිටයර් වෙච්ච ආච්චිලා සීයලා දක්වාම, හැමදෙනාම නමක් නැති, නිමක් නැති රේස් එකකට වැටිලා උදේ ඉඳන් රෑ වෙනකම් දුවනවා දුවනවා දුවනවා. ඉතින් කෝ ආදරේ කරන්න වෙලාවක්? ආදරේ ලබන්න වෙලාවක්?


ඒ අතින් බලනකොට, ආදරේ හිඳිච්ච ලෝකෙක, අවුරුද්දට දවසක් හරි ආදරේ ගැන කතා කරන එකම කොයි තරම් වටින දෙයක් ද?


අපේ රටේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ කොටුවෙච්ච, හිරවෙච්ච, රාමුවෙච්ච සංකල්පයක්. ආදරවන්තයන්ගේ දිනය ඉස්කෝලෙ දවසක වැටුනොත් විනය කමිටුවෙන් පැනලා පොත් බෑග් චෙක් කරනවා. නිදහස් උද්‍යානවලට විසිල් බෙල්ලේ එල්ලාපු ආරක්ෂකයො බහිනවා. මුහුදු වෙරල දිගට පොලිස් නිලධාරීන් ඇවිද ඇවිද ආදරේ පොලීසියට කුදලගෙන යන්න මාන බලනවා. 


ඉතින්, ආදරේ පහලවෙන්න පටන්ගන්න වයසේ ඉඳන්ම, ආදරේ කියන්නේ 'බරපතල වරදක්' බව හිතන්න පුරුදු කරපු පරම්පරාවක්; රොබෝ පරම්පරාවක් බිහිවීමේ අවදානම කරපින්නාගෙන අපි සංස්කෘතිය රැකගත්තා කියල උදම් අනනවා.


අපිට මෙතනින් එලියට එන්න බැරිද? ආදරවන්තයන්ගේ දිනය, අවිවාහක පෙම්වතුන්ට සීමාවුන දිනයක් කියලා හිතන්නෙ ඇයි? මේ තහංචි, සීමා, වැටකඩුළු සේරම උපදින්නේ එතැනින්. ආදරවන්තයන් කියන්නේ අපි ආදරේ කරන අය. මම මගේ තාත්තට, අම්මට, ගුරුවරුන්ටට, යාළුවන්ට ආදරෙයි. සහෝදර සහෝදරියන්ට, දුවට, පුතාට, අසල්වැසියන්ට ආදරෙයි. ඉතින් ඇයි අපිට බැරි එකම ආදරවන්තයෝ සමූහයක් විදියට ආදරේ දවස සමරන්න?


රතු රෝස මලටයි, චොකලට් පෙට්ටියටයි, හාට් එකක් බදාගෙන ඉන්න ටෙඩිබෙයාටයි ආදරේ සීමා කරන්නේ ඇයි? ආදරේ වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් දේ, මුදල්වලින් මනින්නට බැරි තරම් වටිනා දේ බොහොමයි.


ඉතින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරනවා කියන ආදරවන්තයන්ගේ දිනය අපි අපේ රටට ගලපා ගනිමු. අපේ රටට ආදරේ තදින්ම අවශ්‍යයි. පෙම්වතුන් අතර විතරක් නෙමෙයි. ජාතීන් අතරට ආගම් අතරට, කුලගෝත්‍ර අතරට, මෙකී නොකී දහස් ගණනක් පළුදුවීම් අතරට ආදරය අවශ්‍යයි. තම තමන්ගේ කුඩා ලෝකවල හුදෙකලා වුන අපේ මිනිස්සුගේ වේළිලා ගිය හදවත් පොඟවන්න ආදරය අවශ්‍යයි.


එන්න. අපි ආදරේ කරමු!






Monday, February 15, 2016

හෘද ගීතය




ඒ ශාරදයේ මැදියමකි. දෙනෙතු පිය විවර කල නමුත් ස්වප්නය පහලට ගලායමින් පවතියි. මිහිදුම පොරෝණාවක් මෙන් මා වසා වැතිරගෙනය. සිහිනයෙන් සවන් විත පුරා ඇදහැළුණු සුමධුර සංගීත රාවය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දියපෙතක් සා සුනම්‍යව මා වටා ගලා යයි. මම ආයාසයෙන් ගෙල වමට, දකුණට, නැවතත් වමට පෙරල පෙරලා බැලීමි. මේ පියවියයි.


ඒ සංගීත රාවය ‘එන්න, එන්නැයි’ අඬගසන්නාක් වැනි. ‘ඔට්ටු දෙන්නම් මා අල්ලාගන්නැයි’ පවසා පෙනෙන නොපෙනෙන මානයේ සැඟව ඉන්නාක් වැනි. ‘පැමිණ මා උරා ගන්නැයි, වැළැඳ ඒ තුල ගිලිගිලී යන්නැයි’ පොළඹවන්නාක් වැනි. ‘පොද වැස්සක්ව සිහින් දිය තුඩු කොපුල් මත ඇන අස්වසන්නෙමැයි' පිළිණ දෙන්නාක් වැනි.


මම බරැති ලොම් බ්ලැන්කෙට්ටුව තුලින් ලිස්සා දෙපතුල් රතු සිමෙන්ති පොළව මත්තේ තද කලෙමි. දුහුල් රෑ ඇඳුම පවා සසල වන තරම් ආවේගශීලිව ශීතල මා වෙලා ගත්තෙන් හීගඩු නැගෙන්නටද, රෑ ඇඳුම වෙව්ලුම්කන්නටද වී.


ඒ හඬ හඹා යා යුතු!


වළා පෙරහන්කඩින් පෙරි පෙරී ඇදහැලෙන සඳ එළිය ගෘහෝද්‍යානය මත ඇතිරූ රිදී ඇතිරිල්ලක් වැන්න. සිසිරය ලඟ ලඟම එන බැව් සන් කර වරින් වර ශීතල සුලං කැරලි නිරාවරණය වූ උරබාහු මත කෙලිසෙල්ලමට මෙන් හැපී දඟ පා, කෙහෙ කැරැල්ලක් අවුස්සා ඉහළ නැගෙයි. තුරු පත්හි සිරිසිරිය පවා සංගීත රාවය තුල කිමිද සැඟවී අතුරුදන් වූවා වැන්න.  හාත්පස ඒ සා නිශ්චලය.  ඒ සා නිදහස් ය.


උද්‍යානයේ වම් අන්තයේ පැන නැඟි සුවිසල් ඕක් ගසකි. ඒ අභ්‍යන්තරයෙන් විහිදෙන ආලෝක දහරකි. සඳ ඕක් පත් අතර සැඟවගෙන ය. ඕක් පත් අගිස්සෙන් කිරණ විහිදුවමින්ය. රිදී ඇතිරිලි වියන ඇරඹෙන්නේ එතැනිනි. ස්වර ඇල්ල උපදින්නේද එතැනිනි.


අඳුරට හුරුපුරුදු වූ දෙනෙතු මත ඕ එක්වරම ප්‍රාදුර්භූත වූවාය. ඕ තෝමෝ ඕක් අත්තක් මෙන් සිහින් ය. හැඩ ඇතිය. ඕක් කඳ පාමුලින්, ඈ තුලින්, බුබුළු දමමින් නැගී ආයේ වීණා නාදයකි. නටු අගින් ගිලිහුන ඕක් පත් ඈ වටා සර්පිලාකාරව සුළි කැරකෙමින් රඟන්නට වූයේ කුඩා සමනලුන් අහිනක සිරි කැඳවමිනි.


මට ඒ සැබෑ ඕක් පත්‍රදැයි අතගා බලන්නට ඕනෑ විය. එ'තුල යම් මායාමය බලයක් ගැබ්ව ඇත්දැයි දිව ගා බලන්නට ඕනෑ විය. වෙණ නද හා අනුනාද වෙමින් පොපියන ඇගේ රත් දෙතොල යන්තම් සපා බලන්නට ඕනෑ විය. වියරු සුළඟක් වන්ව සසැලෙන ඇගේ කිරි පැහැ බාහුව මත මුදු චුම්භන සතක් පතිත කරන්නට වුවමනා විය. 


නමුත්;
මගේ දෙපා අකීකරු ඕක් මුල්වලින් තදින් වෙලාගෙනය. 
විළුඹ වටා සිහින් මුල් විලංගු ලා ගෙනය.


පත් මතින් පෙරී ආ සඳ දිය ඇගේ මුහුණ මත ඇදහැලෙන්නට වූයෙන් ඇගේ දෙකොපුල් සුදුමැලිවන'යුරු, දෙබැම වේදනාවෙන් ඇඹරෙන'යුරු පැහැදිලිව පෙනෙන්නට විය. වීණාවෙන් උපන් හැඟීම් ඈ වතෙහි චිත්‍රණය වන බව ඒකක්ශණයෙන් මට පසක් වන්නට වී. පිළිවෙලින් සතුටද, ප්‍රමෝදයද, තැතිගැන්මද, අධිකතර ශෝකයද, රාගය සහ ක්‍රෝධයද ඈ වතෙහි ඇඳී මැකී යන්නට විය. මම මදක් ඉදිරියට, ඕ වෙතට, නැමී ගෙල දිගු කලෙමි.


ඈ වයමින් උන්නේ සිය හදවතයි. ලය හරහා තදින් ඇද ගැටගසන ලද රුධිර නාල, ස්නායු පොදිති දහස් ගණනක් හරහා වියරුවෙන් මෙන් ඒ මේ අත ගමනේ යෙදුනු ඈ සුරතෙහි වීණා අළුව වෙනුවට කිටිකිටියේ සිරව තිබුනේ මුවහත් පන්හිඳකි.


එහි රුධිරයද, කඳුළුද විය. 
සෙම්, සොටු සහ කෙළ පිඬු ද විය. 
පන්හිඳ වැදී ඉරීගිය මස් වැදැලිද විය.


ඕක් පත් කුඩා සමනලුන්ව ඇගේ හෘද සංධවනියේ ස්වර ඛණ්ඩ සිය පියාපත් මත රුවාගෙන සර්පිලාකාරව ඉහළට, ඉහළට, තවද ඉහළට එළැඹ ගත්හ. උතුරට, දකුණට, නැගෙනහිරට සහ බස්නාහිරට ඉගිල ගියහ. වයඹට, නිරිතදිගට සහ ගිනිකොණ දෙසට ඉගිල ගියහ. නමක් නැති, නිමක් නැති දිසාවන් සොයසොයා ඉගිල ගියහ.


ඉනික්බිති වැසි වසින්නට විය. ගල්, බොරළු, වැලි වසින්නට විය. සමනල්ලු එකා දෙන්නා මියෙන්නට, පියපත් සිඳී ඇදවැටෙන්නට විය. 


වීණා නාදය අනවරතව, වඩ වඩා සුනම්‍යව නැගී ආයේය. ඕක් තෙම වඩ වඩා පත් හලා ඒ මත පියපත් පැළැන්දීය. සමනල්ලු වඩ වඩා ඉහළට, වළාකුළු මතුයෙන් තවද ඉහලට ඉගිල යන්නට විය. 


ශීතල තවද දැඩි විය. කඳුළු පොඩිති මිදීමෙන් චන්ද්‍රකාන්ත පාෂාණද, රුහිරු බිඳිති මිදීමෙන් පද්මරාගද, සෙම් කැටිති මිදීමෙන් පුෂ්පරාගද උපනි. 


හෘද ගීතය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දිගින් දිගටම රැලි සරැලි නංවන්නට විය.






Wednesday, February 10, 2016

රමණීය ආශ්වාදයක මරණීය අඳෝනාව






අපේ වර්ණ බ්ලොග් අඩවිය ලියන දිනේෂ් ගොයියා උන් හිටි ගමන් කෙටිකතා අස්සෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ලිපිත් පලකරනවානෙ. ඉතින් දිනේෂයියා අවසානෙට ලියපු "සිගරැට්ටුවේ ඉතිහාසය" ලිපිය කියවන අතරෙ එකපාරටම මගේ නළලේ දකුණු පැත්තෙන් සුදු දුමාරයක් වගේ භූතයෙක් එලියට ලිස්සුවා.


"තෝ අහවල් සිටුවේසන් එක ගැන ලිපියක් ලියන්ඩ ඕනෑ කියල පටන් ගත්තෙ කොයි කාලෙද? කෝ ලිව්වද? ලිව්වද? ලිව්වද?" කියල තුං සැරයක්ම මට තග දාපු ඒකා 'පුෆ්!' ගාලා වැනිස්ඩ් ඉන් ටු දි තින් එයාර් උනා.


ඉතින් මම ලහි ලහියේ හරිබරි ගැහුනේ ඒ අනුවේදනීය සත්‍ය කතාව යුනිකෝඩවලට පෙරලන්නයි. 


සිගරට් දුමාරය, එහෙමත් නැතිනම් දුම්කොල නිෂ්පාදන කියන්නේ අපේ සිරුරේ අවයව බොහොමයකට හානි පමුණුවන, විෂ සහිත, නමුත් තහනමට ලක්කර නොමැති නිෂ්පාදන කාණ්ඩයක්. දුම් පානයෙන් වැළඳෙන රෝග ගැන කල්තියා හඳුනාගන්නේ කොහොමද? ඔව්. දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන company ඒ අතුරු ආබාධ ගැන දන්නවා. මේ පර්යේෂණවලට යොදාගන්නේ සිගරට් ලෝලී මිනිස්සුන්වද? කෘත්‍රිමව රෝපණය කරන ලද පටකද? උත්තරය, 'නැහැ' ඒ එකක්වත් නොවෙයි.


මේ පර්යේෂණ සඳහා යොදා ගන්නේ සත්තුන්ව.


දුම්කොල නිෂ්පාදන කර්මාන්තය ගැන අබැටක තරම් දෙයක් නොදන්නා, මිනිස්සුන්ගේ දුම්කොල ලෝලීත්වය ගැන කිසිදු අදහසක් නැති, අසරණ සත්තුන්ව.


ඉහත පර්යේෂණ දෙයාකාරයි.


1. 
සිගරට් දුම කැටි කර ඝනීභවණය කිරීම මගින් ඝන තාර වැනි ද්‍රව්‍යයක් සකසා ගන්නවා. ඒවා විද්‍යාගාර තත්ත්ව යටතේ අදාල පර්යේෂණයට භාජනය කෙරෙන සතුන්ගේ සම මත ආලේප කරනු ලබනවා. මෙහි අරමුණ වන්නේ උන්ගේ සම මත පිලිකාමය සහ පිලිකාමය නොවන ගැටිති වර්ධනය වෙන ආකාරය අධ්‍යයනය කිරීම.





2. 
පර්යේෂණාගාර තත්ත්ව යටතේ විශේෂයෙන් සැකසූ කුටීර තුලදී අදාල සතුන්ව සිගරට් දුමට නිරාවරණය කර තැබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කෙරෙන්නේ පෙණහළු සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්ව පිළිබඳවයි.


රටහාවුන් සහ මීයන් වැනි කුඩා සත්තු, කුටීර තුළ රැඳවීමෙන් මේ සිගරට් දුමට නිරාවරණය කිරීම පහසුයි. නමුත් බල්ලන්, වඳුරන් වැනි සත්තු සම්බන්ධයෙන් තත්වය වෙනස්. ඒ නිසා ඔවුන්ගේ උගුරේ කැපුමක් යෙදීම මගින් බටයක් ඇතුළු කර ඒ හරහා සිගරට් දුම මුදාහැරීමත්, එසේත් නැතිනම් මුහුණ ආවරණය වෙන පරිදි සැකසූ විශේෂ වෙස්මුහුණු පැළඳවීමත් සිදුවෙනවා.






මෙවැනි පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ උදාහරණ දෙකක් මේ.


1. ෆිලිප් මොරිස් (Philip Morris)


සිගරට්වලට මී පැණි, සීනි, මිදියුෂ, දෙහි යුෂ, කොකෝවා, චොකලට් සහ කෝපි යනාදී ද්‍රව්‍ය එකතු කිරීමෙහි ප්‍රතිඵල පරීක්ෂ කිරීම සඳහා මීයන් දහස් ගණනක් කුඩා වීදුරු කුටීර තුලට බහා ඔවුන්ගේ නාසා තුලට දවසට පැය හය බැගින් දවස් අනූවක් පුරා සිගරට් දුම මුදා හැර තිබෙනවා. මේ මීයන් ඉන්පසු ව්‍යච්ඡේදනය කරන්නේ ඔවුන්ගේ සිරුරුවල සිදුව ඇති වෙනස්කම් පිරික්සා බැලීමට.



2. ආර්. ජේ. රෙනෝල්ඩ්ස් (R.J. Reynolds)


සිගරට් රස ගැන්වීමට අධි-ෆෘක්ටෝස් සහිත ඉරිඟු යුෂ යොදා ගැනීමේ ප්‍රතිඵල පිරික්සීම සඳහා සිගරට් දුම ඝනීභවනය කර සාදාගත් තාර මීයන් සහ හැම්ස්ටර් මීයන් දහසකගේ සම මත ආලේප කිරීමේ පර්යේෂණයක් සිදුකෙරුනා. මෙම පර්යේෂණයට අතරවාරයේදී බොහෝ සතුන් මරණයට පත්වුනේ තාර විෂ දාඅගැනීමට අපහසු වීමෙන්. ඉතිරි සතුන් බොහොමයකගේ සම ඉරී, පළුදු වී චර්ම පිළිකා හටගත්තා.


පිළිකා ගැටිති වර්ධනය නොවීමට තරම් වාසනාවන්ත වූ සතුන් බේරෙන්නට ඇතැයි ඔබ සිතනවාද? කොහෙත්ම නැහැ. ඔවුන්ව මරා, ව්‍යච්ඡේදනය කරන්නේ, නිරෝගීව සිටීමට ඔවුන් තුල ඇති විශේෂ යාන්ත්‍රණයක් ඇත්දැයි හඳුනා ගැනීමේ අටියෙන්.





මෙයින් පලක් තියෙනවාද?


ඇත්තෙන්ම දුම්කොල නිෂ්පාදන පිළිබඳව වන පර්යේෂණයන්ට සත්තුන්ව යොදෑගැනීමේ ප්‍රයෝජන ඉතා සීමිතයි. මේ සඳහා හොඳම උදාහරණය නම්, සතුන් යොදාගෙන කල මෙවැනි කෲර පර්යේෂණයන් ගණනාවකින් පසුවත් දුම්කොල සහ පෙණහළු පිළිකා අතර සම්බන්ධයක් ඇති බැව් සොයාගැනීමට පර්යේෂකයන් අපොහොසත් වීමයි.


විවිධ සත්ව විශේෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස්. ඒ නිසා මිනිසුන් සිගරට් දුමායේ අඩංගු විෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර රටහාවුන්, මීයන් හෝ බල්ලන් තුලින් ප්‍රදර්ශණය වේ යැයි සිතීම මුලාවක්.


මේ වීඩියෝවත් බලන්න.





ඔබ උරන දුම්වැටියෙන් ඔබටත්, ඔබ අවට ගැවසෙන අයටත් ඇතිවන ජීවිත අවදානම මදකට අමතක කරමු. ඉහත කී කරුණු ගැන පමණක්ම නැවත නැවතත් සිතමු. දුම්වැටියක රමණීය ආශ්වාදය තුල ගැබ්ව ඇති අසරණ සතුන්ගේ මරණීය අඳෝනාව ඔබටත් ඇහෙනවාද? හොඳට සවන් හැර අහන්න. ඔබට ඇහෙනව නේද?





Tuesday, February 9, 2016

ආතල් ගන්නවද?





ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ 'අකාල වර්ණනාවේ' නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන 'දෙන්නං බැටේ විවේචන' ගැන.


ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන් බව අමතක කරන්න හොඳ නෑ!


අපි උදාහරණෙකට ගනිමු ටියුෂන් ක්ලාස් එකේ සගයෙක්. පොර අවුරුද්දක, දෙකක ඉඳන් කිසිම ක්‍රීඩාවකට සහභාගි වෙන්නෙ නෑ. බඩ පැලෙන්න කනවා. කාල බීලා ක්ලාස් එකේ පිටිපස්සෙ පේලියට වෙලා ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නවා.


සමහර එවුන් අර ළමයට 'බඩ තඩියා' කියල නමක් දානවා. ඊට පස්සෙ පොර නිදාගෙන ඉන්නකොට පිටේ 'බඩ තඩියා' කියල ලියපු කොලයක් අලවනවා. ඊට පස්සෙ ඒකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් හරි ඉන්ස්ටාග්‍රෑම් හරි අප්ලෝඩ් කරනවා. 'බඩා හෙවත් බඩ තඩියා' කියල කැප්ෂන් කරනවා. ඉන් පස්සෙ ඊට යටින් කමෙන්ටු ගණනාවකින් බනිනවා, උසුළු විසුළු කරනවා, හිනාවෙනවා.


එහෙමත් නැත්නම් පොර අමාරුවෙන් බඩ ගෙඩිය උස්සගෙන ක්ලාස් එකේ එහා මෙහා යද්දි කකුල් පූට්ටු දානවා. පාරෙ යද්දි හයියෙන් හූ කියනවා.


එහෙම අයගෙන් ඇහුවොත් ඒකට හේතුව මොකක්ද කියලා බොහොම ආඩම්බරෙන් උත්තර දෙන්නේ, "ඒ යකාව හදාගන්නයි අපි මෙහෙම කරන්නේ" කියලයි. ඒත් පොඩ්ඩක් නැවතිල්ලේ හිතන්න. ඔබ ඔය කරන දේවල්වලින්, ඔබේ රහස් කසුකුසුවලින් තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් දිරදිරා යනවනම් ඒකට ඔබ වගකියනවද? අනුන්ගේ ජීවිත තියෙන්නේ 'දෙන්නං බැටේ ගේම්'වලින් ආතල් ගන්නද?


නමුත් සමහරු, බොහොම අඩු ප්‍රතිශතයක සමහරු ඉන්නවා එයාගෙ කරට අත දාල 'මොකක්ද මචං ප්‍රශ්ණෙ?' කියල අහන. සමහර විට 'බඩ තඩියා' ජීවිතේ එපා වෙච්ච නියුට්‍රල් මූඩ් එකෙන් ඉන්නෙ බූට් කේස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිහට අවලාද කියන එකෙක් මිනිහ ගැන ඉස්කෝලෙට කියපු බොරු කේලමක් නිසා වෙන්නත් පුළුවන්. අපි නොදන්න ගොඩක් කතා ඒ ඇතුලෙ තියෙන්නට පුළුවන්.


ඒ වගේ කෙනෙක්ට ඇත්තටම උදව් කරන්න. ඌව හදාගන්න ඕනෙ තමයි. පොරට තනියම උපදෙස් දෙන්න. ඔව්, තදින් කතා කරන්න. ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට එයාව ඇදගෙන යන්න. තමන්ගෙ ටීම් එකට අරගෙන පොර සෙල්ලම් කරද්දි චියර් කරන්න. ක්ලාස් එකේදි පොරට නින්ද යනකොට වැලමිටෙන් ඇනල ඇහැරවන්න.


තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න එක?






Monday, February 8, 2016

වැරැද්ද? (කෙටිකතාව)





"දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."


ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.


"ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක." ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. "සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?"


"මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි." අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය. 

"බොහෝවිට අද හවස?"


* * * * *


ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය. 


සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.


අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.


අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.


ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි. 


* * * * *


"මම හිතන්නේ මම ඒක හොඳින් කළා." උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය. 


අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!


* * * * *



දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.


සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.



* * * * *


"පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය" 

ප්‍රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.


ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය. 
ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය. 
ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්... 
අහා! 
ඔහු තවදුරටත් ටාෂි නොවේ, 
ටෙරන්ස් ය.


අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.



* * * * *


මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන 'Project-XY'හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. "ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!" සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.


උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින් උන්හ!









Saturday, February 6, 2016

කෝලම්කාර නානකාමර කැඩපත





වීසිකර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කෝලම් රටා අඳින හද බිතු මත


හිසකෙස් අතර මුතු හාරිච්චි පළඳවන
හසරැල් විලට දඟ රන් මාළු අතහරින
ඇස තෙත් කරන සෙවණැලි අඳින - යලි මකන
මුසපත් හදට නියගින් අනින - සිහි කැන්දවන


කීතු කර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
අඳුරු ලප තියා නික්මෙන කොපුලත


හැත්තෑව දශකේ ප්‍රේම ගී සුගැයෙන
නැත්තේ සැකක්, සංවාද මණ්ඩපයන් මැවෙන
ඇත්තේ වචන වීදුරු මතින් දිය ඇලි ගලන
පත්තෑ හිසක් දැක තත්පරෙන් පොළවට වැටෙන


මිටිගුලි පහර දිය යුතු
කැබැලි කුඩු කුඩු කල යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කුණු ගොඩට පිටුවහල් කල යුතු!!



Wednesday, February 3, 2016

පට්ටයි! සුපිරි! එලටම කලා!





අපි කරන හැම දේටම “පට්ටයි මචං!”, “එලකිරි සමග ජලය මචං!”, “සුපර්බ් බ්‍රෝ, කියලා වැඩක් නෑ.” වගේ ප්‍රශංසා ලොරි ගණන් ලෝස් නැතුව අතහරින අය ගැන බොහොම වෙලාවට අපේ හිතේ ඇතිවෙන්නෙ පැහැදීමක්. හැබැයි, වැරදි දැක දැක “වෙල් ඩන් මචං!” කියාගෙන පිටට තට්ටු කරන අකාල වර්ණනාවට පුළුවන් අපේ ටැලන්ට්ස් හප කරල දාන්න. 


මේ දවස්වල ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් විතරක් නෙමෙයි බ්ලොග් අවකාශයෙත් කරක් ගහන සුපිරි තරු තරඟෙක, රැඩිකල් තරඟකාරියකගේ වීඩියෝවක් තියෙනවා ඔයාල සමහරවිට දකින්නත් ඇති. සමස්තයක් විදියට බස්සිට කතාකරන්න, මුණගැහෙන්න, අදහස් හුවමාරු කරගන්න ලැබෙන කුලකයේ උදවිය කියන්නෙ කොයිතරම් දක්ෂ ගායිකාවක් වුනත් අදාල පර්ෆෝමන්ස් එකේදි එයා ෆේල් කියලයි.


ඔන්න දැන් අපි එනවා පොයින්ට් එකට. ඒ පර්ෆෝමන්ස් එකේ අඩුපාඩු පෙනි පෙනි, අර ස්ටාර් තරඟයෙ ජජ් පැනල් එක නැගිටලා ඔල්වරසන් දෙනවා “පට්ටයි! බ්‍රාවෝ! සුපිරි! එලටම කලා!”වගේ මෙකී නොකී දාහක් කතා කියමින්.


උගත් සහ ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් විදියට ඒ අය ඒ වෙලාවෙ අදාල ගායිකාවට කලේ පට්ට අසාධාරණයක් කියලයි මටනම් හිතුනෙ.


හිතන්නකො අපි තමයි ඒ වේදිකාවෙ හිටියෙ කියල, අපිට ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නෙ අපි අදාල වැරැද්ද දිගින් දිගටම කරන්න පෙළඹෙනවා කියන එකයි. අන්තිමේ වැරදි ට්‍රැක් එකේ හයි ස්පීඩ් ධාවනය කරලා අපිටවත් නොදැනි අපේ ටැලන්ට් එක අම්බ්‍රෙල්ලා පව්ඩර් හෙවත් කුඩේ කුඩු වෙලා යනවා.


ජීවිතේ කියන්නෙත් අපි නන්ස්ටොප් රඟපාන වේදිකාවක් නෙව. ඉතින් මම මේ කියන කතාව ජීවිත ගමනේ හැම මංසන්ධියකටම අදාලයි.


තව දෙයක්. ඔයාගෙ යාළුවෙක් හෝ උපදෙස් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අර ස්ටේජ් එක උඩ නැගලා සින්දු කියන තරඟකාරියගෙ තැන ඉන්නකොට, ඔයා ඉන්නේ ස්ටේජ් එක පාමුල ජජ් පැනල් එකත් එක්ක කියල හිතමු. එහෙම අවස්ථාවලදි නොපැකිලව කනට ගහන්නා වගේ ඇත්ත කතා කරන්න. හොඳ නරක දෙක ප්‍රසිද්ධියේ බැරිනම්, පෞද්ගලිකව හරි අදාල පුද්ගලයාට දැනුම් දෙන්න. 


හැබැයි මේ වැඩේ කරන්න ඕනෙ “දෙන්නං බැටේ” මානසිකත්වයෙන්, හැකියාවක් ඔප් නංවා ගන්න කට්ට කන මනුස්සයෙක්ගේ හොම්බ තලලා පොලවට සමතලා කරල දාන චේතනාවෙන් නම් නෙමෙයි. එයාව යහපත් මාර්ගයට යොමු කිරීමේ අරමුණින්.


එතකොට අර තරු වැඩසටහනේ තරඟ කරපු ගායිකාව? අපි හොඳ අතට හිතමු. එයාව වේදිකාව උඩදි අපහසුතාවයට පත් නොකර හොඳ කියපු ජජ් පැනල් එක පෞද්ගලිකව එයාගෙ දුර්වලතා පෙන්වා දුන්නායැයි අපි හිතමු. අපි එහෙම හිතමු. අකාල වර්ණනාවලින් බේරිලා අනිත් අයවත් හැකි තරමින් බේරාගනිමු.




ප.ලි.


මේ කියන ගායිකාව ගැන අපේ රසිකලොජිස්ට් පෝස්ටු දෙකක්ම දාලා තිබුනා.


බස්සිගෙ කොලම කියවන්න, හැම අඟහරුවාදාම මවුබිම යං අතිරේකය බලන්න.