Friday, April 24, 2015

ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව






පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි


පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි


සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි


ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි


"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.




(තරුරසී අක්කාගේ ෂාරොන්හි සෙව්වන්දියක සේ බ්ලොග් ලිපියට පිලිතුරකි.)



බූන්දියෙහි මෙ කව පළවූ පිටුවට අදාළ සබැඳිය : 
http://www.boondi.lk/article.php?ArtID=4634

Tuesday, April 21, 2015

මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි!








“ඔන්න. ඔන්න බලාගෙන!”


කරාස්!!!” 

තදබල බ්‍රේක් පහරකි. 


“ඒ බල්ලො දෙන්න පොරකාගන්නව. මට හොඳටම විශ්වාසයි අර දුඹුරු තිත් වැටුනු සුදු පාට එකා ට්‍රයි කලේ ගුරු පාට කෙට්ටු එකාව වාහනේ යටට තල්ලු කරන්න.”


“ම්හ්! මටත් හිතුනා. හොඳ වෙලාවට අපි කල්පනාවෙන් ආවෙ. නැත්නම් අපිට තමයි ඔය මරණෙට වගකියන්න වෙන්නෙ.” 


“මම ඒකනෙ කියන්නෙ, ඔය කසිකබල් මෙගා නාට්‍ය යන වෙලාවට ටී.වී. එකක් දාල තියන්නවත් හොඳ නෑ කියල. බලන් ඉන්න අප්පිරියාවට ටී.වී එක දාල අයිතිකාරය ගිහුං නිදාගන්න ඇති. අර දුඹුරු තිත් වැටුන සුදු පාට බල්ලා ඕව බලලා ඉගෙනගන්න ඇති මිනීමැරුමක් හදිසි අනතුරක් බවට පත් කරන හැටි.”


“හ්ම්ම්ම්….”


“ඇත්තටම බල්ලන්ගෙ ආචාරධර්ම පවා මේ විදියට පිරිහීමට ලක්වෙන එක බොහොම අවධානම් සහගත තත්වයක්. මං කියන්නේ, අපි කොහොමද බයක් නැතුව ගෙදරක හුරතලේට සතෙක්වවත් ඇතිකරන්නෙ? අපි වැඩට යනකම් ඉඳලා ඌ ළමයගෙ බෙල්ල මිරිකල දායි. නැත්නම් ළමය කාර්ටුන් බල බල ඉඳලා බල්ලගෙ බෙල්ලට ලණුවක් දාල රෙදි වැලේ එල්ලයි. ඔව්, ඉතින් ඒක සියදිවි නසා ගැනීමක් කියල හැමෝම හිතයි. කොහොම උනත් ඒකෙන් අපේ දරුවා බේරෙනව. ඒකම හිතට සැනසීමක්නෙ. නැද්ද මං අහන්නෙ?”


“හ්ම්ම්ම්…..”


“ඒත්, ඒත් පොඩ්ඩක් හිතන්ට. ඌ එහාගෙදර රෝස්මරී නැන්දා බලන හින්දි පිච්චර් බලන්න එහෙම පුරුදු උනොත්. ඒ මනුස්සය හරි ආදරෙයි බල්ලොන්ට, පූසොන්ට. හොඳා, ඌ එව්ව බලලා මොළේ කුරුවල් කරගෙන රෝස්මරී නැන්දනෙ බින්ගෝට ආදරේ කරන්න ගත්තොත්? බින්ගෝ කොහොමත් ආදරේ හිතෙන හරි සීදේවි පූසි. අනික අර මෝඩ ගෑණි ඌට දාල තියෙන්නෙ බැල්ලියෙක්ගෙ නමක්.”


“හ්ම්ම්ම්…. ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?”


“වැරැද්ද?? පොඩ්ඩක් මොළේ කල්පනා කරල බලනව මනුස්සයෝ! ඔය නැට්ටුක්කාර බැළලි මුලු දවල් වරුවම කරන්නෙ බැල්කනියට වෙලා ඒකිගෙ බූසි වළිගෙ පීරන එක. එතනට කෙලින්ම පේන්නෙ අපේ රෙදි වැල! ළමයා බල්ලව රෙදි වැලේ එල්ලනව දැකපු ගමන් ඒකි යාවි පොලීසියට. ඔන්න ඇහුනද! ඔන්න ඇහුනද එෆ්.එම්. එකේ කියනව  රහසින් කරන ආදරේ රහ දැනෙනව වැඩියි ලු. ඒ කියන්නෙ බින්ගෝ අනිවාර්යයෙන්ම පොලීසි යාවි. ඒකෙ සැකයක් නෑ.”


“හ්ම්ම්ම්…. 

ඒත් අපිට තවම බල්ලෙක්වත් ළමයෙක්වත් නෑ නේද?”


“ඒකත් ඇත්ත. මං කිය කියා උන්නෙ, අර ගෙවල් පාරෙ පොරකකා උන්නු බල්ලො දෙන්නා, අපිට උන් දෙන්නව වීඩියෝ කරන්නයි තිබුනෙ. නැද්ද?”


“හ්ම්ම්ම්? ඊට පස්සෙ?”


“ඔයාට තිබුනෙ නොදැක්කා වගේ වාහනේ යටට තල්ලු කරපු අර ගුරු පාට බල්ලව යට කරගෙන යන්න. යට උනාට පස්සෙ අර තීරණාත්මක බ්‍රේක් පාර ගහන්න.”


“හ්ම්ම්ම්?”


“අන්න එතකොට මට පුලුවනි පටස් ගාල එලියට පැනලා බල්ල රෝදෙට අහුවෙලා ඉන්න හැටි වීඩියෝ කරන්න. ඉස්සරහින් පේන හැටි, පැත්තෙන් පේන හැටි එහෙම. ඕවා ටී.වී. චැනල් වලින් අරගෙන හතහමාරෙ, අටේ, අටහමාරෙ නිවුස්වල පෙන්නද්දි කාටද ආඩම්බර හැබෑටම! සමහරවිට මගෙන් වොයිස් කට් එකකුත් ගනීවි.”


“හ්ම්ම්ම්….”


“ඒ දෙන්න පාර අයිනෙ කණ්ඩිය උඩ රණ්ඩු වෙවී උන්නෙ. මම කොයිකටත් ෆෝන් කැමරාව ඔන් කලා.

ඉන් පස්සෙ එකපාරටම, එකපාරටම ඒ දෙන්න බදාගෙන පැන්න. මම දිගටම වීඩියෝ කලා. 

වාහනේ නතර උනාම මම දුවගෙන ගියා එයා යටවෙලා ඉන්න හැටි වීඩියෝ කරන්න!”


“හ්ම්ම්ම්…..”


“මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි! අර දුන්හිඳ ඇල්ලෙන් කපල් එකක් පහළට පනින හැටි වීඩියෝ කරපු යූ රිපෝටර්ලා වගේම!”







ලංකා නිවුස් වෙබ් අඩවියේ පළවූ සබැඳිය : 

http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16678-2015-04-22-23-09-45





Monday, April 20, 2015

සුපිරි වෙළඳසැල ඉදිරිපිට ආච්චිලා රබන් වයති (Anti-අවුරුදු කවි)








 "අවුරුදු මේසෙට දෙන්න දෙයක් නැත
රබාන තැලුවොත් තුට්ටු දෙකක් ඇත."

 
"වීදුරු ඇතුලෙන් මං දැක්කා
ඒ.සී. කරාපු වට්ටක්කා
මේ තරමට ඉර සැර මක්කා
උන් පින් කරාපු වට්ටක්කා"

 
"බොලං පොඩි නංගි ටිකක් හිටපං
අදත් මයෙ කොන්ද හුඟක් ඇවිලුං"

 
"රන් සපත්තු ජෝඩුවයි
පොඩි පැටවුන් තුන් දෙනයි
උන්ගේ දෝත දැකපු සැනින්
හිච්චි එකී සිහිවුනයි"


"උඩින් උඩින් වර පෙත්තප්පූ
බිමින් බිමින් වර පෙත්තප්පූ
උඩින් උඩින් වර
බිමින් බිමින් වර
කොහා හොයන් වර
පෙත්‍තප්පූ!"


~~~~~~~




කොණ්ඩ කැවුමත් යනව වයසට (Anti-අවුරුදු කවි)






ගෙවෙනකොට අවුරුදු පනහ හැට
කොණ්ඩ කැවුමත් යනව වයසට
කොණ්ඩෙ හැලුනම කොහොම එන්නද
පුරුදු විදියට කෑම මේසෙට

කොකිස්, අතිරස, අග්ගලා වුව
යාන්තම් පැනි බිඳක් තැවරුව
සීනි පැනිරහ කෑම තහනම්
ඩයබිටික් හැදුනාම තදටම




Saturday, April 18, 2015

කොටුරූල් ගම (Anti-අවුරුදු කවි)





කොටුරූල් පොතක් වැනි
කතා නැති ගම
තම තමන්ගේ කොටුවල
කන බොන, ටෙලිවිෂන් බලන
හුදෙකලා රතිඤ්ඤාවක්
හිටිගමන් කොටුවක් අද්දර පුපුරන


Friday, April 17, 2015

මහ දාංගල්කාරයෙක් නෙව මේ ඉර! (Anti-අවුරුදු කවි)






නිස්කාංසුවෙ එකලස්ව ඉන්න බැරුවට
රාශියෙන් රාශියකට
බට්ටො පනිනවද මන්දා
මේ ඉර!

 

රතිඥ්ඥා සද්දෙට
ගොලුවෙලා වෙන්නැති කොවුල් නද
ඒත් අඩුවක් නම් දැනෙන්නෑ
"කොහෙක්" අඬවයි රූප පෙට්ටිය

 

කුරුලෑ ගෙඩි වලට
කැවුම්, අතිරස, කොකිස් අගුණය
කාබයිට් කහ කෙසෙල් ඇවරිය
මකයි සුදු කිරිබතක පාලුව

 

එරබදු ගමේ නෑ දැන්
ගිහින් රට රස්සාවට
නිවාඩුත් නැතුවැති
රතු ගවොම් ඇඳ ගමට එන්නට

 

ඉන්න බැරිවද එකතැන!
මොකට එහෙමෙහෙ පනිනවද
මහ දාංගල්කාරයෙක් නෙව
මේ ඉර!





Wednesday, April 15, 2015

වසන්තයේ මගේ කොටස සමග අන්නාසි සහ කඩලගොටු


 
මේ අවුරුද්දේ සිංහල බ්ලොග් කලාවට වසන්තය උදාවෙලාය. මෙහෙම සිද්ධියක් දකින්නට ලැබුනේ බස්සිගේ බ්ලොග් ජීවිතයේ පළවෙනි වතාවටය. ඉතින් බස්සි අමන්දානන්දයට පත් වූවේය.



 

ඒ රම්පෙට පොරි හැලෙන්න දවස ගානේ ලියන්නම් කියලා හිතාගෙන නෙමේය. දැන් අපිට වසන්ත නිවාඩුවේ කැවුමක් කකා අලුත් වී එන ප්‍රවීණ සිංහල බ්ලොග් හඳුනාගන්න හැකි නිසාය. ඒ නිසා බස්සි වසන්තයේ මගේ කොටස විදියට ඒ බ්ලොග් පෝස්ටු හැකි තරම් කියවමින් බ්ලොග් ලියන හැටි ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙනවා ය.


ඒ කියවාපු සිංහල බ්ලොග් අතරෙන් බස්සිගේ සිත පැහැර ගත් පට්ට සුපිරිම බ්ලොගිය "දුමීගේ කට කහන කතා"ය. මට හිතෙන විදියට වසන්තයෙන් සිද්ද වුන හොඳ දේවල් අතරින් අංක එක වෙන්නේ ආයෙමත් කට කහන කතා ලියවෙන්න පටන් ගත්තු එකය.


සමහර බ්ලොග් වලටනම් ආරම්භයේ සිට හැමදාම වසන්තයයි. එහෙම බ්ලොග් හිඟය. හැබැයි ඒ අයට බස්සි ටිකක් වැඩිපුර ආදරේ ය. "වර්ණ" ලියන දිනේශ් අයියා, "ලෝකයේ කොණක" (සහ තව බ්ලොග් දෙකක්.) ලියන සිඳු අක්කා, රසිකලොජිස්ට් නමින් පුනරුත්පත්තිය ලද කකා, වසරේ හොඳම බ්ලොග් කරු "මාතලන්", "සොඳුරු සිත" ලියන වත්සලා අක්කා, "කඳු" ලියන සශිකා අක්කා, "සින්ඩරෙල්ලාගේ සපත්තුව" හොයන රසී, මගේ ප්‍රියතම "හිතනලන්තය" ලියන අමිලානි, "කාලාකාශයේ" සහන් ඇතුලු තවත් බොහෝ දෙනා ඒ අතරේ ඉන්නවාය.

 
ඉතින් බස්සි බ්ලොග් වසන්තයේ චමත්කාරය උපරිමයෙන්ම අත්විඳිනවාය. ඒ අතරේ බුකියේ ඇන්ටි-අවුරුදු කවි ලියමින් අවුරුදු පොටෝ වපුරන අපේ කස්ටියගේ ආතල් කුඩු කරනවාය. හිතුනොත් හෙට අනිද්දා දිහාට ඒ කවි ටික ගෙනත් ගෙඩි පිටින් බ්ලොගේ අලවලා (අර කඳූ ලියනවා වාගේ දවසට පෝස්ට් දහයක් විතර!) ආයෙමත් ෂපාන් එකේ වසන්තය කියවන්න යනවාය!

 
එතෙක් ඔයාලා සේරටම කිරියෙන් පැණියෙන් බතින් බුලතින් පාන්පිටියෙන් කිරිපිටියෙන් සහ මෙකී නොකී සියලු යහපත් දැයින් සපිරුන සුභ නව වසරක් වේවායැයි පතනවාය.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා නෙව! අප්‍රේල් මාසේ විසිපස් වෙනිදා - සෙනසුරාදා A & K Lit Fest එක එහෙමත් නැත්නම් අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උළෙල පවත්වනවාය. ඒකෙදි බ්ලොග්කරණය ගැනත් සාකච්ඡාවක් පැවැත්වෙන නිසා බ්ලොග් කලාවට ආදරය කරන හැමදෙනාටම, හැකියාවක් ඇත්නම් ඒකට සහභාගි වෙන්නැයි ආරාධනා කරනවාය.


https://www.facebook.com/aklitfest?pnref=story

 
අප්‍රේල් දහනම වැනිදා අපේ සයිබර් බක්මහ උළෙල පවත්වන බව දැන් හැමෝම දන්නවත් ඇතිය. ඒක ගැන නම් සියලු විස්තර සහිතව වෙනම පෝස්කට්ටක් තලන්න ඕනෑය.


අලුත් අවුරුද්දේ මෙන්න මේ සෙත් කවිය තුන් වරක් කියෙවුවානම් සියලු අපල උපද්‍රව දූරුම්භූත වෙලා යනවාය.

 

පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
මොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි


තියන තියන හැම පියවර සුභ වේවා
කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා







Friday, April 10, 2015

හිරු කිරණකට රවන එක







පහසුයැයි හිතනවද
හිරු කිරණකට රවන එක?
දිගැටි ඇහිබැම හැකිලීම වුව
රිදවන සුලුය නළලත
ඊට වැඩියෙන් බරයි හදවත


වසන්තාරම්භය අභියස
බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම


ඒ වුනත් ඔබ කියන විදියට
හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට


ඔබ දන්නෙ නැතුවට
රොන් හාදු නීතියෙන් තහනම්ය
මුල් දුවනකොට පාලු හරිතාගාරෙක


~~~~~~~~~~~~~~~~~~~

ප.ලි.

අපේ නුවර කුමාරි ලිවුව මෙන්න මේ කවියට තමයි ඔය පිළිතුර ලිවුවෙ.



Wednesday, April 8, 2015

කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns)





මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න.


මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම මදි නොකියන්න කඟවේන්නුත් උන්නා. හැබැයි ඒකෙදි වැදගත් වුනේ කඟවේන්නුන්ට පාවිච්චි කරන ඇම.


ඇමට චීස් කෑලි? හෙහ්! 

කඟවේන්නු ගැන දන්නවයැ දැන් හැදෙන එවුන්!


ඇමට යොදාගන්නේ කන්‍යාවියක්. කඟවේනා මතුවෙනකම් ඈ ඉඳගෙන ඉන්නවා  කැලෑව අද්දර. ඔන්න එකපාරම ඇහෙනවා කොළ අතු හෙලවෙන සද්දෙ. ඉන් පස්සෙ මතුවෙන්නෙ රෝස පාට අඟක්. කඟවේනා හෙමින් හෙමින් කිට්ටු වෙලා කන්‍යාවිගෙ උකුළ උඩින් ඔළුව තියාගෙන ඇස් පියා ගන්නව. ආං එතකොටයි හැංගිලා උන්නු දඩයක්කාරයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගන්නෙ.


දැන් කාලෙ ඇම හොයන එකත් ලේසි නෑ. ඉතින් ඔය සුපර් මාකට්වල තියෙන කඟවේන මස් එන්නේ කඟවේන් ෆාම් වලින්. නවසීලන්තෙ තියෙන හෙක්ටයාර ගණනාවක් විසාල ගොවිබිම්වල වැඩෙන මේ කඟවේන්නු මිතුරු කන්‍යාවියො නැතුව පුදුමාකාර පාලුවකින් ඉන්නෙ. ඉතින් දවසෙ වැඩි වෙලාවක් උන් මිතුරු කන්‍යාවියන්ට වැදගත් සැම්පලේට මස්කාරා ගාන හැටි උගන්වන විදිය ගැන මනමැවි හීනවල සැරිසරමින් ඉන්නවා. පව්!


ඇත්තටම ඔය බිස්නස්කාරයො තමයි කාන්තා සංවිධානවල ඇත්තියන්ට තර්ජනය කරලා මේ රහස දැන් හැදෙන කෙලිත්තියන්ගෙන් වසං කරල තියෙන්නෙ. ඇයි? අර පාළු ගොවිබිම්වල හිරවුනු කඟවේන්නුන්ගෙ එකම ගැලවුම්කාරයො තමයි කන්‍යාවියො.


බඩවැල් ඇබරිලා, හදවත කුඩුවෙලා, උණ්ඩුකපුච්ඡය කිලිපොලා යන ඛේදාන්තය තමයි බොහොමයක් කෙලිත්තියන්ට ජීවිත කාලයටම කඟවේණුන්ගේ පුරුපුරුවක් අහන්න නොලැබෙන එක. (කඟවේන්නුන්ගේ පුරුපුරුව ඇහෙන්නේ සබන් පෙණ පුරවාපු නාන තටාකයක් ඇතුලෙ ඉඳන් පොමනේරියන් බලු පැටව් දාහත් දෙනෙක් හිනාවෙන සද්දෙ වගේමයි.) 


ඒ විතරක්යැ, කඟවේන්නු කවදාවත්ම මොලේ කරවෙච්ච ආදරවන්තයෙක් වගේ ඔයාව “පාවිච්චි” කරන්නෙ නෑ. හැබැයි කඟවේන්නු කැමතියි චිත්‍රපටි බලන්න, ඒ විතරක් නෙමෙයි, පොප්කෝන් සහ ලෙමන් සෝඩා වලටත්!





චිත්‍රපටිය ඉවර වුන වහාම කඟවේන්නුනම් කරන්නෙ සුබරැයක් පතලා ඉක්මනටම පිටත්වෙන එක.  පාළු දැනුනට ඒ නික්මයෑම වටිනවා. මොකද එයා යන්නෙ රෑට ඔයාගෙ කාමරේට ඇතුල්වෙන්න බලාගෙන ඉන්න දුස්-ස්වප්න හප කරල දාන්න.


ඔව්. මම මේ දේවල් දන්නෙ අත්දැකීමෙන්, මොකද දැනට හරියටම අවුරුදු තුන්සිය පනස් දෙකකට කලින් මටත් උන්නා මිතුරු කඟවේණෙක්. අපි තවමත් මුණගැහෙනව දෙසැම්බර් නිවාඩුවටයි, පාස්කු දවසටයි. ඒත් මම දැන් බැඳපු ගෑනියෙක්. කඟවේන්නු කොහොමත් බැඳපු ගෑණු එක්ක වැඩි ඇඟෑලුම්කමක් නෑ.


මම දන්නවා දැන් ඔය කෙලිත්ති කල්පනා කරන්නෙ; “ඔය කියන්නෙ ඇත්තනම් මම මීට කලින් කඟවේනෙක් නොදැක්කෙ කොහොමද?” කියන එක. හොඳ ප්‍රශ්ණයක්! බොහෝම තියුණු නුවණක් තියන ගෑණු ළමයෙක්. මම ප්‍රාර්ථනා කරනව දෙවියො ඔයා වෙනුවෙන් මොළේ තියෙන ස්වාමිපුරුෂයෙක් මවල දේවි කියල!


මිනිස්සුන්ගෙ මොළ හේදිලා ගිහින්. ඒක තමයි හේතුව. ඉතින් කඟවේණ්නු උනත් හිතනවා සුරංගනා කථා ඇතුලට වෙලාම ජීවිතේ ගෙවන එක දාහෙන් සම්පතක් කියලා. අන්න ඒකයි ලේඩි ගාගා කඟවේනෙක්ගෙ පිටේ නැගලා වේදිකාවට පනින හැටි අපිට දැකගන්න බැරි උනේ. හෙහ්! උන්දැට දළ-තල්මහෙක් එක්ක ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් බොන්නවත් වාසනාව තිබුනොත් පුදුමයක්!


අසීමාන්තික ආසාවක් නිසා දැනටමත් කඟවේන්නු දැකගන්න බැරිවෙන තත්වෙට පත්වෙච්ච නිසා වෙන්න ඕනෙ ඔය මූණු නාලු වෙලා තියෙන්නෙ. දුක් වෙන්න කාරි නෑ. කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්නේ, යම් තාක් දුරට. 





ආදරවන්තයො හතරදෙනෙක්ට අඩුවෙන් ආශ්‍රය කරපු ඕනෙම ගෑල්ලමයෙක්, තමන්ව ආයෙමත් කන්‍යාවියක් කරන්නෙයි කියලා උනන්දුවෙන් දෙවියන්ට යාඥා කරලා පිවිතුරු බවේ ප්‍රතිඥාවක් දුන්නොත්, කඟවේනෙක්ව හුරතල් කරන්න හැකියාවක් නොලැබුනත්, ඔයාට කඟවේනෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ආදරවන්තයෝ ගණන හතරකට වැඩිනම්, බොහොම අවංකව පිවිතුරු බවේ ප්‍රතිඥාව පිළිපැද්දොත් ඔයාට යාන්තම් කඟවේනෙක්ට ඈත ඉඳන් අතවනන්න පුලුවන් වෙයි. සමහරවිට තියුණු කඟවේන අඟ පහත් කිරීමෙන් ආචාර කරනවත් දැකගන්න ලැබෙයි. 


අසාධාරණයි!? ඒඩ්ස් හරි සිපිලිස් හරි හදාගන්නවට වඩා කඟවේනෙක් අතවනලාවත් යන එක දාහෙන් සම්පතක් නෙමේද??? 


කඟවේන්නුන්ගෙන් සමාවක් ලැබුනේම නැතත් දුක් වෙන්න එපා. සමහරවිට වෘෂභමිනිහා ඔයාගෙ තනියට එන්න පුලුවන්. ඔළුව දෙපැත්තෙ විසාල අං දෙකක් තිබුනට එයා බොහොම හොඳ සවන් දෙන්නෙක්. එකම දේ එයා ගව ඔළුවෙන් තණකොළ අඹරන සද්දෙට වඩා හයියෙන් කෑගහමින් කතාකරන්න සිද්දවෙන එකයි. ඒත් මට හොඳටම විශ්වාසයි ඔයා ටික කාලෙකින් ඒකට පුරුදු වෙන බව. 


වෘෂභමිනිහා (Minotaur)


ඉතින් කෙල්ලනේ, ඊළඟ වතාවෙ කෑදර ආදරවන්තයෙක්ගෙන් “ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරන්න” ආරාධනාවක් ලැබෙනකොට, කෙලින්ම කියන්න, තමන්ට ‘හාන්සි’  වෙන්න උවමනාවක් නැති වග. ඒ වගේම ‘කාන්සි’ය මකන කඟවේණෙක් කෑදර ආදරවන්තයෙක්ට වඩා බොහොම වටින බව.


අමතක කරන්න එපා ආදරවන්තය එක්ක ඇතිවෙච්ච කතාබහ කඟවේනත් එක්ක කියන්න. කඟවේණ්නු බොහොම කැමතියි විහිළු කතා අහන්න. දන්නවද? කඟවේනෙක් හිනාවෙන හැම වතාවකම සුරංගනාවියක් තමන්ගෙ මංගල රාත්‍රියෙදි ප්‍රීතියේ පරම කෝටිය ස්පර්ශ කරනවා. ඉතින් විය යුතු පරිද්දෙන්ම මාස නමයකින් පුංචි දේදුන්නක් ඉපදෙනවා.




ප.ලි.


මේක මගේ නිර්මාණයක් නෙමෙයි. Frank Lesser ලියාපු Sad Monsters කියන පොතේ එන The joy of unicorns පරිච්ඡේදය සිංහලට අනුවාදය කල එක තමයි මම කලේ. මුල් ලිපිය හොයා දුන්නු ප්‍රා-ජේ ට බොහොම ස්තූතියි. 




ප.ප.ලි.


අනේ බස්සිට මේ පොත උපන්දින තෑග්ග විදියට ලැබෙනවානම්.....



තවත් කඟවේන ලිපියක් :

රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද??






Monday, April 6, 2015

රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද??







"අනුන්ගේ සීනි කිරන එක!"

ඔව්. ඒක මහා අප්‍රසන්න අත්දැකීමක්.


තමන්ගේ කඩේක උනත්,  නැත්නම් අංක හයක වැටුපක් ගෙවන විසාල කඩේක උනත් අනුන්ගේ සීනි කිරන්න වෙන එක තරම් අප්‍රසන්න අත්දැකීමක් තවත් නැති තරම්. අන්න ඒකයි මම අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලේ.


අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලා කිවුවට ඇත්තටම මම ඒ තීරණය ගත්තෙ ඊයෙ. ඊයෙ හරිම තීරණාත්මක දවසක්. ඇත්තටම ඒ වගේ වැදගත් දවස් නිකම්ම නිකම් “ඊයේ”, “පෙරේදා” නැත්නම් “අද” කියලා හඳුන්වන එක මහ අපරාදයක් කියලයි මට හිතෙන්නෙ. ඒත් ප්‍රශ්ණෙ තමයි කිසිම කෙනෙක්ට මම කියන දේ වැඩිපුර නොතේරෙන එක.


වැඩිපුර නොතේරෙනවා කියන්නෙ තේරෙන්නෙ අඩුවෙන් කියන එකයි. ඒත් සමහරුන්ට යන්තම්වත් ඒ ගැන දැනීමක් නෑ. ඔය හාංකවිසියක් නෑ කියන්නෙ අන්න එහෙම අවස්ථාවලට.


කොහොමහරි ඊයෙ ගත්තු තීරණය නිසා අද මම ගෙදර. අන්න ඒකයි මම ඇහැරෙන්න උනත් මේ තරම් ප්‍රමාද වුනේ. ඔන්න එතකොට මට මතක්වෙනවා මම කඩේ වැඩකරන කාලෙ ලියාපු කවියක්.



කිමෝනාවක සිහින් සරසරය
ඉනික්බිති සැර කෝපි කුයිලකි
නිදිබරවු නැහැ තුඩග කිතිකවන
කෙසෙල් කොල තව්මරන සුවඳකි
'ඉතින් නැගිටින්නැ'යි කියන


සිහින් රතැඟිලි පහසකි
කමිස කර, ටයි ගැටය සකසන
කොපුල් හෙමිහිට පිරිමදින


හිරු විසල් දෙහි ගෙඩියකි
උදා ස්වප්නයෙන් මා මුදවන
වියළි කර පාන් පෙති
ඔච්චමට මෙන් හිනාවෙනකොට
දෙහි බිඳක් ඇස තුලට අතහරින



ඔය කවිය හාංකවිසියක් නොතේරුන අයත් අමුතු හැඩතල දකිනවා. වෙලාවකට මට හිනහත් යනවා. ඇත්තටම ඒක හිනාවෙන්න කාරණේකුත් නෙමෙයි. මේ මගේ දිවා සිහිනය නම් ඒ උගේ දිවා සිහිනය. ඒ සිහිනය ඇතුලෙ කැමති දෙයක් කරන්න උන්ට පූර්ණ නිදහස තියෙනවා. වැදගත්ම දේ අපි කවුරුත් එක එක කෝණයන්ට අනුව මානසික විකෘතිතා ඇති අය බව තේරුම් ගැනීම.


මට ඉන්නවා යාලු පූසෙක්. ඔව්. පූසෙක්. විශේෂත්වය තමයි ඌ රෑ එළිවෙනකම් අවදියෙන් හිඳීම සහ සීමාවක් නැතුව කෝපි බීම. කෝපි බීම ගැන කියන්න මේ වෙලාව සුදුසු නැති නිසා මම ඒක කල් දානවා. සුදුසු වෙලාව මොකක්ද කියලා මම දන්නෙත් නැහැ හරියටම.


ඔය පූසා දවසක් මට එවුවා පින්තූරයක්. “මචං, මේ පින්තූරෙ උඹට මොනවහරි පේනවද?” ඌ අහනවා.





“මට පේනවා මිනිහෙක්.” මම කිවුවා. 

“ඌ ඉන්නෙ නිදාගෙන, උඩුබැල්ලෙන්.  හරියටම මේ වෙලාවෙ ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් සිටිය යුතු විදියට නිදාගෙන. ඒ එක්කම මට පේනව පුංචි කොලපාට ඩයිනෝසරයෙක්. ඌ ඩයිනෝසර් පැටියෙක් වෙන්න ඕනෙ. ඌ ඉන්නෙ කට බාගෙට ඇරගෙන.”



ඩයිනෝසර් පැටියා


දීර්ඝ නිද්‍රාවකට වැටුන යෝධයා



පූසා කියපු විදියට ඒ කන්දට කියන්නෙ “J.R කන්ද” කියලා. නහය දිග නිසාලු. ඒත් ලංකාවෙන් මල් පැල ටිකක් ගලවගෙන යන්න ආපු යෝධයෙක් කෙටි නින්දකට වැටිලා ඉන්නව කියල හිතන්න කාගෙන් තහනමක්ද? ඇයි එහෙම වෙන්න බැරිද? 


මීදුමත් එක්ක මුහුවුන ලිලියැක් මල් සුවඳකට යෝධයෙක්ව එම්බාම් කරන්න බැහැ කියලා කාටවත් සහතික වෙන්න පුලුවන්ද?


මම අහන්නේ, 
කඟවේන්නු ඉන්නෙ වළාකුළු අතරෙනම්,
රයිනෝසිරස්ලා කියන්නෙ බර වැඩි නිසා පොළවට කඩා වැටිච්ච
කඟවේන්නු වෙන්න බැරිද??



- මොළේ CrAck උන piKsu බස්සියෙක් -





Thursday, April 2, 2015

ඈ සින්නතම්බිය. දෙමළිය.








ස්වාමිනී ඈ සින්නතම්බිය. දෙමළිය.
සළු වියන්නිය, කෙසඟ ගාමන්ට් කෙල්ලය
මැසින් ඉඳිකටු සිදුරකින් හඳ දකින්නිය
එහෙට පායන හඳ උනත් කලු පාටය.


මඩකලපුවේය. ඒ නොරට ය
යාපනේටත් වඩා හම මඩ පාටය
පෙම්වතුන්ගේ දිනයය – උන්නේ තනියම ය.
පත් සිඳුනු ගස් ආදරේ දන්නැතිය. අපිටනම් කම් නැතිය.


හිරවෙලා උන් කෙහෙ කැරැල්ලක් හුළඟෙ පාවිය
තල් වැටක ආදරේ කෙටු හැටි සිහිවිය
තුවාලේ හෑරුවේ කොණ්ඩා කටුවය
සුසුම් වැද සෙලවුනේ කැටපත් පවුර ය.


සින්නතම්බිය ජීවිතේ විත්තිකාරිය
තුවක්කුව මිස පෑන පැන්සල අහිමි ය
කවක උරුමය වියත් සුදු කෙස්වලටය
දෙවසරක් සිර දඬුවමක් හොඳටම මදිය!


~~~~~~~~~~~~~~

Wednesday, April 1, 2015

කඳුළේ කතාව (Legend of Tears)







කඳුළ කියන්නේ අපි කාටත් පොදු අත්දැකීමක්. දුක් කඳුළු,  සතුටු කඳුළු,  කිඹුල් කඳුළු  විතරක් නෙමෙයි ෆිල්ම් කඳුළු,  ලූණු කඳුළු සහ දූවිලි කඳුළු විදියටත් කඳුලේ විවිධ ප්‍රභේද හඳුනාගන්නට පුලුවන්.


බස්සි අද තොරණේ විස්තරේ ගේන්නේ මෙන්න මේ කඳුළු ගැනයි.


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!


ඇහැ මුදුනේ අශ්‍රැ ග්‍රන්ථි
කඳුලු දියර හදන්නේය
ඇහැ සෝදා පහළ අතට
ගලා පිටට පනින්නේය





කඳුළු වැටෙන වැටෙන ගානෙ
සමහරු කවි පද ලියනව
ඒ උනාට කඳුළු වලත්
කැටගරි බෙදුමක් තියෙනව


බලන්න සුපින්වතුනි. කඳුළත් හරිම වර්ගවාදියි, කැටගරිම තුනක්!


1. සාමාන්‍ය කඳුළු (Basal tears)
2. ප්‍රතීක කඳුළු (Reflex tears)
3. භාවවිෂයක කඳුළු (Emotional tears)



1. සාමාන්‍ය කඳුළු (Basal tears)


කිසිම හේතුවක් නැතුවම
මේ කඳුලැලි නිපදවෙන්නෙ
අවුන්ස දහයක් විතරම
දවස ගානෙ ඇහැ රකින්නෙ

ඇහැ වේලෙන්නට ඉඩකඩ දෙන්නේ නැතිලූ
නාස් විවරයට පැනලා හැංගෙනවාලූ



2. ප්‍රතීක කඳුළු (Reflex tears)


ලූණු සැරට, දූවිල්ලට 
ස්වච්ඡ මණ්ඩලේ කෙවෙන්නෙ
සංවේදී ස්නායුයි
ඉවසන්නට බෑ කියන්නෙ

මොළේ අගට ඉක්මනටම පණිවිඩ යනවා
ලහිලහියේ කඳුලු ගලා ඇස් සේදෙනවා



3. භාවවිෂයක කඳුළු (Emotional tears)


ඉවසගන්න බැරිම දුකක්
මස්තිෂ්කයෙ උඩ පනින්නෙ
ඇහැට පණිවිඩේ දෙන්නට
හෝර්මෝනයි පිටත් වෙන්නෙ

සතුටට නැත්නම් දුකකට කඳුළු උනනවා
හිත උණුවී ඇස් උතුරා වාන් දානවා





මේ භාවවිෂයක කඳුළු, මම කලින් කියාපු ප්‍රතීක කඳුලුවලටත්, සාමාන්‍ය කඳුළුවලටත් වඩා සංයුතියෙන් වෙනස්. ප්‍රතීක කඳුලු සහ සාමාන්‍ය කඳුළුවල 98%ක්ම තියෙන්නේ වතුර. ඒත් භාවවිෂයක කඳුළුවල වතුර විතරක්ම නෙමෙයි තියෙන්නෙ පින්වතුනි;


1. 
ප්‍රොලැක්ටින් (Prolactin) හෝර්මෝනය 
(ශරීරය ඉහිල්වීමට දායක වෙනවා.)

2. 
ඇඩ්‍රිනොකෝටිකෝට්‍රොපික්  (Adrenocorticotropic) හෝර්මෝනය 
(ඉහල ආතති තත්ව වලට ප්‍රතිචාර දැක්වීමට මේ හෝර්මෝනය උපකාරී වෙනවා)

3. 
Leucine enkephalin  
(මේ ස්වාභාවික වේදනා නාශක රසායනිකයක්.)



ලයිසොසයිම් (Lysozyme)

ඕනැම කඳුලක තියනා
රසායනිකයක් වෙන්නේ
ලයිසොසයිම් නම ඇහුවම
කොයි කවුරුත් හඳුනන්නේ

ලයිසොසයිම් කඩු පොලු ගෙන සටනට පැන්නා
ඇහැට අනින විසබීජයො දුරුවන් වෙන්නා


මෙතැනින් මේ කඳුළු කතාව නිමක් දකීවිද? නැහැ සුපින්වතුනි. කඳුළු සලන එක ගැන අපේ හිතට මහා වදයක් වුන තවත් විසාල ප්‍රශ්ණයක් ඉතිරි වෙලා තියෙනව. ඒ තමයි,


යි ගෑනු පිරිමින්ට වඩා වැඩියෙන් අඬන්නෙ?


පිරිමි ඉතින් වැඩි හරියක්
ඔරවාගෙන කල් ගෙවන්නෙ
"අඬන එකයි ගෑණු ගතිය"
සමාජයෙන් උගන්වන්නෙ

දිව මතුරක් විදියට ඒකම මුමුණනවා
අපූරු පොඩි කොලුවෙක් ගල් බමුණෙක් වෙනවා





මලපැනීම සහ ඇඬීම
පියවර දෙක වෙන් කරනා
දුර මැනීම සිදුවෙන්නේ
දේහලීය අගයකිනා


අනේ ඉතින් පිරිමින්ගේ ඇඟේ තියෙනවනෙ අර ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය. ඕකෙන් පිරිමින්ගේ මල පැනීම සහ හැඬීම අතර ඇති දේහලිය අගය ඉක්මවීම පාලනය කරනවා. ඒ නිසා කෙල්ලෝ මල පැන්න ගමන් ටැප් එක ඇරියට, කොල්ලෝ මල පැනලා වලං බිඳිනවා විතරයි. අඬන්නේ නැහැ.


ඒ මදිවට ගෑණුන්ගේ
කඳුලු නාල පළල් නැතේ
ධාරිතාව බොහොම අඩුය
ඉක්මනටම පිට පනිතේ

අනේ ඉතින් අසරණ දැරිවියෝ අඬනවා
මොට්ට පිරිමි අපිට 'අඬන මැසින්' කියනවා





ඔන්න ඕකයි ගෑනු ටිකක් වැඩිපුර කඳුළු සැලීමේ රහස. කෝක වෙතත් ඈඬියාවක් එනකොට "අහෙම්" හඬක් සමග උගුර පෑදීමෙන් නහයයි උගුරයි අතර යම් සෙලැවීමක් ඇති කරලා කඳුලු එන එක නවත්වාගන්න යම් තරමක හැකියාවකුත් තියෙනව.


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!