Thursday, October 30, 2014

දෙබිඩි අහස








දියලුමේ වතුරයි
ලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයි
මහ දවාලෙම ඉහල ඇදගෙන
අඳුරු වැහිකළු තර වුනා
බදුලු අහසම බර වුනා


ලපැටි තේ දලු යාය අතරේ
රිදී උල්පත් ඉපැදුනා
එයින් කුස සතපන සියොත් කැල
ඉරට ඉහළින් ඉගිලුනා
උණුහුමට ඝන වළා සළුපිළි
උන්ගෙ උරමත දැවටුනා


විසල් වැහි පිරි වලා සළුවක්
ශිඛර මුදුනක ඇමිණුනා
දියලුමේ දිය සමග මුහුවුන
කඳුලු මිහිමත විසිරුණා
අහස් වත අතගාන කඳු හිස
කඳුළු ගඟ දැක හෙල්ලුනා
කන්ද පාමුල පුංචි බිම්මල්
පස් ගොඩක් යට වැළලුනා


ලැයිමෙ මල්වල සෝ විලාපය
හෙමින් ඇහුනා නෑහුනා
අමුතු කම්පාවක් මවාගෙන
සිඟිති සිරිපොද ඉහිරුනා
හාංකවිසියකුත් නොදන්නා
සියොත් මධු ගී ගයමිනා
තව රිදී උල්පතක් සොයමින්
ඉරට ඉහළින් ඉගිලුනා




Tuesday, October 28, 2014

පිනෝකියෝ







බැරිවෙලාවත්
උඹ පිනෝකියෝ උනා නං,

මෙලහකට මම
හඳේ ගේකුත් හදල
එවරස්ට් වලින් පස් ගෙනිහිං

ලයිට් වෙනුවට
එල්ලන්න තිබුන
තරු කැට කඩන්

ඇත්තමයි, අපරාදෙ බං

:(




Friday, October 24, 2014

බෝඩිම් කට්ට (tips for boarding life - 1)




මේ ලිපිය ලියන්නේ මගේ සූටි සුරතල් නංගියා වෙනුවෙන්.




අපේ සූටි සුරතල් නංගියා ජීවිතයේ ප්‍රථම වතාවට ගෙදරින් පිටවෙන්නයි ලකලෑස්තිය. මම වගේ ඇට්ටර ඇම්බැස්ටයෙක් නොවුන නිසාම උන්දෑ උපන් දා හිට මේ වෙනකම් නිදාගන්නෙ අම්මයි තාත්තයි මැද්දෙ. ඉතින්  පොර සත්‍ය වශයෙන්ම වුවමනා ප්‍රමාණයට වඩා බොහොම වැඩියෙන් හුරතල් වී ඇති නිසාත්, තනියම ජීවත්වීම කියන එක උන්දැට බිහිසුණු සිහිනයක් වෙන්න ඉඩ ඇති නිසාත් මම අපේ නගාත්, තව වසර තුන හතරක් ඇතුලතවත් තනිව ජීවත් වෙන්න හිතාගෙන ඉන්න ඒ වයසෙ අනිත් ඇච්චොත් වෙනුවෙන් පණ්ඩිත වාක්‍ය කිහිපයක් ලියල දාන්න හිතුව.



මට මුලින්ම කියන්න තියෙන්නෙ, හතර පහ වසරෙ ඉඳන්ම ගෙදරින් පිටවෙලා ජීවත්වීමේ “උණක්” තිබුන, යාලුවන්ගේ ගෙවල්වල සති ගණන්, මාස ගණන් ගත කල, තුන වසරෙදි වෙන් වුන කාමරේක තනියම නිදා ගන්න පුරුදු වුන මටත් uni ගිය පළවෙනි සතියෙ ඒ ජීවිතේ එපා වුනා.






ඔබ මොන සමාජ තරාතිරමක කෙනෙක් උනත්, ගෙදර ජීවිතය සුඛෝපභෝගීයි. තනියම ජීවත් වීම කට්ටක්. හැබැයි ඒ කට්ටෙ තියෙන්නෙ පුදුම රහක්.



ඔන්න එහෙනම් අද කියන්න යන්නෙ බෝඩිම් ජීවිතයේදී දැන සිටිය යුතු මූලිකම කාරණා කිහිපයක්. ඉඩ තියෙන විදියට තවත් ලිපි කිහිපයක් ලියන්නම් මේ ගැන.


කැම්පස් හොස්ටල් ජීවිතේට මේ උපදෙස් හරියටම ගැලපෙන්නෙ නෑ. මොකද ඒ සංස්කෘතිය සහමුලින්ම වෙනස්. ඒ ගැන වෙනමම කතා කරමු.






නාන කාමරය






#ගොඩක් වෙලාවට බෝඩිමක ඉද්දි ඔයාට වෙනවා බාත් රූම් එක ශෙයාර් කරගන්න. ඒ නිසා නාන/ඇඟ සෝදන ඒවට යන කාලය හැකි තරම් අවම කරගන්න. අනිත් අයට පෝළිමේ හිටගෙන ඔයාට බැන බැන බලන් ඉන්න සලස්වන්න එපා.


#රෑ නින්දට පෙර වොශ් දැමීම සහ උදේ ලෙක්චර්ස් යන්න කලින් විනාඩි දහයෙන් මූණ සෝදාගෙන පිටත් වීම තමයි වඩාත්ම ඵලදායක විසඳුම.


#ඔයාගේ සබන්, බොඩිලෝෂන්, ෂැම්පු වගේ දේවල් බාත් රූම් එකේ දාල යන්න එපා. සමහර විට අනිත් අය ඒව හවුලෙ පාවිච්චි කරන්න කැමති වෙන්න පුලුවන් ඔයාට නොදන්වා. (හොඳයි ටූත්පේස්ට් වගේ ඒවා බෙදා හදා ගන්න පුලුවනි, ඒත් ලිප් බාම් එකක් වගේ දෙයක් ශෙයාර් කරගන්න බැහැනෙ.) ඒ නිසා ඒ වගේ බෙදා ගන්න අපහසු ආලේපන වෙනම පසුම්බියක හරි බොක්ස් එකක හරි දාල තියාගන්න.


#වතුර උරා නොගන්නා පසුම්බි තියනව ඉතාම අඩු මිලට. එතකොට අර ආලේපන සෙට් එක අරන් යන්නත් පහසුයිනෙ.


#කාමර දෙක තුනක ඉන්න අය බාත් රූම් එක ශෙයාර් කරගන්නවානම්, ගෙදර අයිතිකරුවන් ඒක පිරිසිදු කරන්නෙත් නැත්නම් ඒකට කාලසටහනක් හදා ගන්න. එතකොට ඔයාට ක්ලීන් කරන්න වෙන්නෙ සති තුනකට හෝ මාසෙකට සැරයයි.





ආහාර





අහා මේක තමයි අපේ චූටි සුරතල් නගාටනම් වැදගත්ම මාතෘකාව. :P


කැම්පස් ජීවිතේ තමයි ඕනෑම ආහාරයක් සිරුරට පත්තියන් කරගැනීම පුරුදු වෙන්න තියන හොඳම අවස්ථාව. ඒක අපතේ යවන්න එපා.



#සයිවර් කඩ යනු ලාබෙට, රහට කෑ හැකි තැන් ය.


#ක්‍රීම් බනිස් වගේ ඇසුරුම් කල බනිස් ජාති කලින් දවසෙ අරගෙන පහුවදා උදේට කන්න පුලුවනි. උදේට ලෙක්චර්ස් නැති නම් කලින් දවසෙ ඒ බනිස් ගෙනත් තියාගත්තම කිසි ගින්නක් නැතුව දහය එකොළහ වෙනකම් නිදා ගන්න පුලුවනි.


#කොත්තු මී; 

කෑම කඩ වසා ඇති දිනවලදී ඉතා වැදගත් වේ. කොත්තු මී පැකට්ටුව කඩා නූඩ්ල් කේක් එක උතුරන වතුර බඳුනකට දමන්න. විනාඩි හතරක් තබා පෙරා ගන්න. යලිත් වරක් එයට උණු වතුර පුරවා විනාඩි දෙකකින් පමණ පෙරාගන්න. (දෙපාරක් වතුර යෙදීමෙන් බඩවැල් විනාස වීම තරමක් පමා වනු ඇත.) ඉන් පසු රසකාරක සහ චිලි පේස්ට් මිශ්‍ර කර කෑමට ගන්න.



#සැන්ඩ්විච්

බිත්තර දෙකක් තම්බා ගන්න. කැරට් අලයක් සිහින් කැබලි කපාගන්න. මේ දෙක එකට මිශ්‍ර කරන්න. සැන්ඩ්විච් පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා ගන්න. (බටර්/මාජරින් සැශේ පැකට් ගන්න, කල් තියාගන්න අමාරු නිසා) ඉන් පසුව බිත්තර සහ කැරට් පිරවුම තවරා සලාද කොලයක් මැදට තියාගෙන සැන්ඩ්විච් හදා ගන්න. 



#තේ/කෝපි

තේ කුඩු බැහැර කිරීම කරදරයි. ටී බෑග්  වඩා පහසුයි. තම තමාගේ කම්මැලිකම අනුව ඒක තීරණය කරන්න.

නෙස්කැෆේ කියන්නේ නිදිවරාගෙන ක්‍රෑම දැමීමට අගනා උත්තේජකයක්. එනර්ජි ඩ්‍රින්ක්ස් වලින්නම් ඇති සෙතක් නැහැ. බොරු ඇඩ් එක විතරයි.



#අඩුම කුඩුම

හැමදාම එකම තැනින් කන්න වෙලානම්, ගෙදරින් ගේන චට්නි බෝතලයක්, චිලි පේස්ට්, අච්චාරු හෝ බැදුම් (මික්ස්ඩ් බයිට්.) බෝතලයක් බොහොම වටිනවා. ලුණු කුඩු ටිකක් උනත් පුංචි බෝතලයක දමා තියාගැනීමෙන් පාඩුවක් වෙන්නෙ නෑ.



#වැදගත්ම දේ තමයි, “ආහාර යනු හෝම්-සික් සඳහා විකල්පයක් නොවෙයි.” කෑමෙන් සිදුවන්නේ “හෝම්-සික්” අඩු වීම නොව ඔබ ජිම්බතලයෙක් බවට පත් වීමයි.




ඇඳුම්





#බැගී ටී ෂර්ට්, අඳුරු පැහැ ඩෙනිම් සහ ෆ්ලිප්-ෆ්ලොප්ස් නිසා ඇඳුම් පිළිබඳ ගැටලුව සෑහෙන දුරට නිරාකරණය වනු ඇත. ඩෙනිම් යනු මාසයකට වරක් සේදීම ප්‍රමාණවත් රෙදි වර්ගයක් නිසා ඩෙනිම් කලිසම්, ඩෙනිම් ජැකට් සහ ඩෙනිම් ගවුම් ඔබේ ජීවිතය වඩවඩාත් පහසු කරනවා ඇති.


#සර්ෆ් එක්සෙල් ඇඳුම් වලට අහිතකරයි, නමුත් කාලයකට සැරයක් සෝදන බර ඩෙනිම්, ඩෙනිම් බෑග්, බෙඩ්ශීට් යනාදියට සර්ෆ් එක්සෙල් යෙදීමෙනුත් ජීවිතය පහසු වෙනව.


#යුනි ඉන්න කාලෙදි ඇඳුම් සෝදන්න හොඳම වෙලාව රෑ. පාඩම් කරද්දි නිදිමත බ්‍රේක් එක අරන් ඇඳුම් හේදුවනම් නිදිමත එහෙමම නැති වෙනවා. බාත් රූම් රශ් එකත් නෑනෙ ඒ වෙලාවට.


#ටී ෂර්ට්, ඩෙනිම් සම්බන්ධව ගජේ ගැසීම තමන්ගේ සහ අනුන්ගේ කැමැත්ත මත ගලපා ගන්න. සමහරු ගජේට කැමතිම නෑ. සමහරු මුදල් අගහිඟයක් නැතත් ගජේ ගැසූ ඇඳුම් මතම යැපෙනවා. සූත්තරෙන් ඔලුව බේරගෙන ඉන්න ඕනෙ. (ගජේ = ශෙයාර් කර ගැනීම.)








අදට ඔය ඇති නේද? මේ මාතෘකා තුනට අදාළව කියවන අයගේ අදහසුත් කමෙන්ට් විදියට එකතුවෙනවානම් තවත් වටිනවා.





Wednesday, October 22, 2014

සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages)





මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.

අහන්නත් දෙයක් යැ. ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට වුනේ. අන්න ඒ විදියට කොට වුන මාව දැකල අමන්දානන්දයට පත් වුන අය තැන තැන කොඳුරන කතා වලින් තමයි ඔය “ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්” කියන විශේෂණය බිහිවෙන්න ඇත්තෙත්.

ඇත්තටම මගේ කොට භාවය මට ආභරණයක්!


එදා අපේ නඟාගෙ ශ්‍රේණියෙ ළමයින්ට ඉස්කෝලෙන් බෙහෙතක් විදින දවස. ඕකා හය වසරෙ කිරිසප්පය. අවුරුදුම හතක් වැඩිමල් අක්ක කෙනෙක් වෙච්ච මම ඔතනට ගිහින්, පොරව බෙහෙත් විදින තැනට ඇදගෙන ගිහින් ඇඩ් එකක් නොදැම්මොත් ඒක මගේ වැඩිමල් සහෝදර භාවයේ අභිමානයට කැළලක්.

අන්න ඒ නිසයි මම වීරයා වගේ කිරිහාමි, බැටිස්ටා, මලියා, රඟසොබා කියන ත්‍රිවිධ හමුදාව සහ පොළීසිය එක්කාසු කරගෙන හය වසරට බේත් විදිනව බලන්න යන්න පිටත් වුනේ. ඒ ලෙවල් පන්තිවල අක්කලා විදියට ඔය ඇච්චොන්ට උසස් පෙළ ගරු ගාම්භීරත්වය පෙන්වීම අපේ පරම වගකීමක්.


බෙහෙත් විදින තැනට ගියා විතරයි මෙන්න අපේ චූටි සුරතලා කට ලොරියකට අහුවෙච්ච කජුලෙල්ල වගේ කරගෙන බලන් ඉන්නව.









“මොකද හලෝ කටේ හැටි නිකම් යූ අකුර කණපිට ගහල වගේ?” මම වගකීම් සහගත අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් පොරගෙන් අහනවා.

“මේ… බේත… මට කලින් විද්දා…..” පොර වෙරි වෙච්ච පූසෙක් වගේ අඬන්න රෙඩි වෙච්ච වොයිස් එකකින් කියනවා.

“කොහෙදිද?” අනෙ මේ පච නොකියා ගිහින් ඕක විදගන්නව.”

“නෑ අක්කියෝ ගිය සතියෙ තාත්ත එක්ක ඩොක් ගාවට ගිය වෙලේ විදගෙන ආවෙ. ඔයාට මතක නැද්ද?”

හත්වලාමයි! කතාව ඇත්ත. පොර ගෙදරදි මට දාන ලොරි පාර්ට් වලට හොඳ පාඩමක් උගන්නන්න තිබුන අදත් බේත විදගන්න ඇරලා. ඒ උනාට මූ බේත් වැඩිවෙලා මලොත් කාරිය මට තමයි සාක්කි කියන්න යන්න වෙන්නෙත්. ඒ නිසා මම තීරණය කලා මගේ ගෞරවණීය වැඩිහිටි අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් මේ බව ඒකාගෙ ටීචර්ලාට දැනුම් දෙන්න.

අන්න එතන තමයි පොඩි පරහකට තිබුනෙ. සේරම ගුරුවරු ඉංග්‍රීසි මාධ්‍ය පංතිවලට උගන්නන්න කියල අලුතින් ආනයනය කරපු ඈයො. අපි වගේ ඒ ලෙවල් “ඩයල්” අඳුරන්නෙවත් නෑ අලුත් ටීචර්ලා කස්ටිය. ඒත් ඉතින් මම ඔයවගේ බාධක වලින් සැලෙන එකෙක් නෙමෙයි. අනික මා එක්ක ඉන්නවනෙ මං වගේ දෙගුණයක් උස බැටෑලියන් එක. ඒ නිසා සුරතල් නංගියගෙ අතින් ඇදගෙන ටීචර් ගාවට එක්කන් ගියා කියන්නකෝ.

ටීචර් කණ්නාඩියට පහළින් මා දිහා බැලුව. අඩියට දෙකට ආව ළඟට.

“දෙන්න අත් අල්ලගෙන කොහෙ යනවද මන්දා.” අපි දෙන්නවම අතේ වීරියෙන් ඉන්ජෙක්ෂන් පෝළිමට තල්ලු කරපු ටීචර් කියපි.

“මම මෙයාගෙ අක්ක ටීචර්” නැති වෙන්න ගිය අභිමානය බේරගැනීමේ පරම අධිෂ්ඨානයෙන් යුක්තව මම ප්‍රකාශ කලා.

“ඉතින් පුතේ හත වසරෙ ළමයින්ටත් කැමතිනම් මෙතනින් බෙහෙත් විදගත්තැකි. ඔයත් නංගි එක්කම ගිහිල්ලා බෙහෙත් විදගන්නකෝ මෙතනින්ම.”


ඒ මොකද්ද බොලේ ඒ අටම්හරුපෙ කියල අහස පොළව ගැටලන්න කල්පනා කරපු මට වැඩේ නෝණ්ඩි වුනේ කලර්ස් පෙන්නන්න එක්කන් ආපු අතිජාත මිත්‍ර ද්‍රෝහියො හතරදෙනා බඩවල් අල්ලගෙන දෙකට නැමිලා කොමඩි ෆිල්ම් එකක් බලන්නැහෙ හිනාවෙන හැටි දැක්කමයි.




***********







ඔය රස්තියාදු ගැසීම කියන චරිත ලක්ෂණය ඒ කාලෙ ඉඳන් මගේ ජාන එක්ක බද්ධ වෙලා තියෙන සහජ උරුමයක්. ඒ සෙනසුරාදා දවසෙත් හිරාන් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මම තව ෆ්‍රෙන්තෝ ඩබලක් එක්ක නුගේගොඩ ඒ මේ අත පාවෙනව.


ඔහොම පාවෙන අතරෙ එකෙක්ට හැදුන කියන්නකෝ ගෑල්ලමයින්ට ආවේණික බඩේ අමාරුවක්. කරුමෙට අපි එකෙක් ගාවවත් අවශ්‍ය ද්‍රව්‍ය නෑ. කොහොමත් මගේ නිර්භීත භාවය නිසාම ස්වීප් එක ඇදිච්ච එකා ගාව අනිත් යාලුවා නැවතිලා ඉද්දි මම ගියා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගෙන එන්න.


කරුමෙ කියන්නෙ එදා පෝය දවසක්. ෆාමසි වහල. ඔහොම ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔන්න නිකම් සුපර්මාකට් ටයිප් එකේ කඩයක් ඇරල තියෙනව හම්බවුනා. කඩේටම හිටියෙ සේවකයො දෙන්නයි. හැබැයි සෙනග හරියට.


ඔන්න තියෙනව මම හොයපු භාණ්ඩෙ. පූජා වස්තුවක් වගේ රාක්කෙක උඩම තට්ටුවෙ අඩුක් කරල.


මම එකපාරක් දෙපාරක් සර්කස් කාරයෙක් වගේ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඉලක්කය වෙත ළඟා වෙන්න හැදුව. ම්හු! මිෂන් ඉම්පොසිබල්. උඩ පැනලා නිකම් පැට්‍රෝල් පුච්චගන්න කලින් කඩේ මනුස්සයෙක්ට කතා කලා.

මට විස්පර් පැක් එකක් දෙන්න.

මෙන්න බොලේ පොර අරන් එනවා ක්‍රිස්කෝ බිස්කට් ටින් එකක්. මට හොල්මන්ද පොල්කොළ වුනා.


මම ඉල්ලුවෙ ක්‍රිස්කො නෙමෙයි අංකල් විස්පර්


පොර ටිකක් වෙලා මා දිහා පුදුමෙන් වගේ බලන් හිටිය. ඊට පස්සෙ ආයෙම ගිහින් අරන් ආවෙ අර කාර්ඩ්බෝඩ් පෙට්ටියෙ තියන ක්‍රිස්කෝ එකක්.


සමහර වෙලාවට මගේ අසහාය තීක්ෂණ බුද්ධිය මෙහෙයවලා උනත් ඉලක්කය කරා ළඟා වෙන්න අපහසු වෙනව. ඉතින් මම කලේ මගේ අපරිමිත ක්‍රීඩා කෞෂල්‍ය විදහා දක්වමින් පුලුවන් තරම් උඩ පැනලා රාක්කෙ උඩම තට්ටුව ස්පර්ශ කරපු එකයි.


දඩබඩාස් ගාල කාන්තා සනීපාරක්ෂක තුවා වැස්සක් වැටෙද්දි මම ජයග්‍රාහී ලීලාවෙන් එයින් එකක් ඇහිඳගෙන කඩේ මුදලාලිට දුන්න. පොර හොල්මනක් වගේ ඇස් ගෙඩි දෙක තඩි කරන් මගේ වීර්යවන්ත කොට ජීවිතේ දිහා බලන් උන්න.


ඇත්තටම තනියම ෂොපින් යන එක වුනත් ඉතාම දුෂ්කර වෙනව මගේ මේ මන නන්දනීය දේහ ප්‍රමාණය නිසාම. ඇඳුම් කඩ වලදි නම් සෑහෙන්න හොඳ සහයෝගයක් ලැබුනට පොත් කඩ වලදි ශබ්ද නගා ජාතිය අමතන්න හිතෙන තරමට අපහසුතාවයට ලක්වෙනව පොත් තෝරන්න ගියාම. මම ඉතින් ඕකට හේතුවත් දන්නව. ඔවුවයෙ වැඩ කරන උදවිය හද පත්ලෙන්ම ඉරිසියයි මගේ ආකර්ශණීය උස ප්‍රමාණය ගැන. අන්න ඒ නිසාම මම බොහෝ වෙලාවට එයාලට අනුකම්පා කරල රාක්ක මතට උස පැනීමේ යෙදෙනව.



කෝච්චියක හිටගෙන යන්න සිද්ධ වීම මට මේ චිත්තාකර්ෂණීය දේහ ප්‍රමාණය වෙනුවෙන් කැප කරන්න වුන තවත් එක සුලු වරප්‍රසාදයක්. කෙසේ වෙතත් මම මගේ නිර්මාණශීලී චින්තනයේ ආධාරයෙන් විසඳුමක් හොයාගත්ත. ඒ තමයි බස්සාව කනුවක් විදියට ප්‍රයෝජනයට ගැනීම. අපේ බස්සා නැති දාට වාඩි වෙලා යන්න සෙනඟ අඩු කෝච්චියක් එනකම් බලා ඉන්න හෝ බස්සෙකේ යන්න සිද්ධවෙන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

ඔය පොඩි පැකේජ්වල එන වටිනා දේවල් ගැන සමහර ඉරිසියාකාර දිගංචියන්ට විස්වාස නෑ. අන්න ඒ අය ඔය පහළ තියෙන ලැයිස්තුව කියෙවුවොත් මම කියන දේ බොරුවක් නොවන බව තහවුරු කර ගත්තැහැකි.







මගේ සුවිශේෂී දේහ ප්‍රමාණය නිසා හිමිවුන තවත් වරප්‍රසාදයක් තමයි මට හිමිවුන නික්නේම්. ඔහේල කාටවත් යාලුවො ආදරේට කියල තියෙනවද “රේ-මිස්ටීරියෝ” කියල? අන්න මගේ කොට භාවයේ අතුරු වරප්‍රසාද! නම අහද්දිත් සරුවාංගෙම කිළිපොලා යන හැඟීමක් දැනෙනව නේද?



ඔන්න ඕකයි මම හැමවෙලේම කියන්නෙ. මේ කොට භාවය මා විසින්ම පවත්වාගෙන යන්න තීරණය කරපු අතිවිශේෂ උරුමයක්! ඕන්න දැන් පහළින් වැටෙන කමෙන්ට් වලින් තමුන්නාන්සේලාට තහවුරු කරගන්න පුලුවන් දිගංචියන්ගේ ඉරිසියාව රුසියාවට වඩා ඉන්තේරුවෙන්ම විශාල බව.



**************




මේ පෝස්ට් එක පබ්ලිෂ් කලාට පස්සෙ අපේ ඩූඩ් දාපු කමෙන්ට් එකකට උත්තරයක් විදියට මම කොට ජීවිතේ තියෙන අනුපමේය වැදගත්කම් ලැයිස්තුගත කලා. ඒකත් පෝස්ට් එක අගටම ඇමිණුවා. කියවලා බලන්නකො බොරුද කියල.


* බස් එකේ වහලෙ ඔලුව හැප්පෙන එක හීනෙන්වත් නොවෙන නිසා ඉතාම උදාරම් විදියට අපිට කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න පුලුවන්.

* කොයි වෙලෙත් සැබෑ වයසට වඩා අඩු වයසක් පේන්නෙ.

* බැච් ෆොටෝ එකේ ඉස්සරහම පේලියේ සිටීමේ භාග්‍යය හිමිවීම නිසා ඔයාව යාලුවන්ට ලේසියෙන් අමතක වෙන්නෙත් නෑනෙ. ඔය දිගංචියන්ගෙ ඔලුගෙඩිය ඉතරයි බැච් ෆොටෝ එකේ තියෙන්නෙ.

* අනික එළිමහන් පීරියඩ්වල අකමැති සබ්ජෙක්ට් එකක් නම් පිටිපස්සටම ගිහින් ටීචර්ට නොපෙනි ඉන්න පුලුවන්. ආස හිතෙන පාඩමක් නම් කාගෙවත් විරුද්ධත්වයක් නැතුව ඉස්සරහම පේළියට යන්නත් පුලුවන්.

*ඩී ජේ එකකදි, ඩාන්ස් එකකදි කස්ටිය අස්සෙන් රිංගලා රිංගලා ස්ටේජ් එක ආසන්නයට ළඟා වෙන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව.

* උස යාලුවො හිමින් ඇවිදිද්දි උනත් උන්ගෙ වේගෙට ළඟා වෙන්න අපිට දුවන්න වෙන නිසා කොහොමත් අපේ ෆිට්නස් හොඳයි.

* දහතුන වසරෙදි උනත් බාගෙ ටිකට් එකෙන් බස්සෙකේ යන්න/ ෆිල්ම් බලන්න පුලුවන්.

* සෝෆා එකේ ඇඹරෙන්නෙ නැතුව දිගාවෙලා ටී.වී බලන්නත්, නිදා ගන්නත් පුලුවන්.

* ඕනෙම උසක සපත්තු දාන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම.

* බස් එකේ, කාර් එකේ සීට් අතර දුර අඩුයි කියන ප්‍රශ්ණය අපිට අදාල නෑ.

* අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පහළින් නිසා බිම ඇදන් වැටීමේ සම්භාවිතාවයත් අඩුයි නෙව.

* හිටගෙන අහන් ඉන්න බෝරින් ස්පීච් එකක් මැදදි කාගෙවත් අවධානයට ලක් නොවී ලිස්සලා යන්නත් පුලුවන්.


 



Monday, October 20, 2014

වචනයෙන් නොකියූ ආදරේ.....










“අන්න එනවා” මෙලීසා මගේ වැළමිටට ඇන්නේ නොහිතපු වෙලාවක. අතේ තිබුන ෆයිල් බෑග් එක මහ හඬක් නගාගෙන පේව්මන්ට් එකට වැටුනා.


“කලබල නොවී ඉන්නව මැට්ටි. මාත් එක්කම බිමට නැමුනු මෙලීසා විසිරුන කඩදාසි කිහිපය එකතු කරමින් කිවුවා. මම හිටියෙ ඉරට පොඩ්ඩක් ඉහළින් තිවුන වළාකුලක් උඩ ඇවිදිමින්. ඒ තරම් ගැබුරු හීනෙකින් ඇහැරෙන්න අමාරුයි.


මෙලීසා මගෙ අතින් අල්ලා ගත්තා. මගෙ අත්ල දහදියෙන් තෙත්ව ඇති බව මට හදිසියේම මතක් වුනා. ඉස්කෝලෙ හැමෝම ප්‍රතික්ෂේප කරපු මගේ තෙත් අත්ල මුල්වරට තදින් අල්වා ගත්තු මිතුරිය මෙලීසා.


“මළමිනියක් වගේ නේද?” මම හෙමින් මිමිණුවේ මෙලීසාගෙ අත්ල ගිනියම් වෙලා වගේ දැනෙන්නට වූ නිසයි. ඒ සාමාන්‍ය උණුසුම නම් මගේ අත්ල කොයිතරම් සීතලට දැනෙනවා ඇත්දැයි මට එක්වරම කල්පනා වුනා.


ඉර කෑලි කෑලිවලට පුපුරා ගිහින් රත්තරන් පාට වැස්සක් ඇදහැලෙන්න වුනා. ඔහු කහඉර උඩින් පාරෙ මෙහා පැත්තට එනවා මම බලන් හිටියෙ අපහසුවෙන්. ඒ දිස්නය විහිදෙන්නෙ ඔහුගෙන්ද? ගෙලට තරමක් පහළින් ගැටගසා තිබුන කෙහෙරැළි පිරිමදිමින් මම ඔහු දිහා බලා නොබලා උන්න.


“අපරාදෙ ඇයි මැට්ටියේ පෝනිටේල් එක උඩට ගැටහගන්නෙ නැත්තෙ?” මෙලීසා අහනවා.


“එයා ආස නෑ.” 


“මොක්-කක්?” 
මෙලීසා මා දිහා බැලුවෙ ඇස් ගෙඩි තඩි කරගෙන.


“එදා කිවුව. ක්ලාස් එකේ කාර්ඩ් මාර්ක් කරන්න පෝළිමේ ඉඳිද්දි. එයා හිටියෙ මට පිටිපස්සෙ. උඹල ක්ලාස් එක දෙදරන්න මෝඩයො වගේ හිනා උනේ මට.”


එයා ඇවිත් අපිට ටිකක් එහාට වෙන්න හිට ගත්තා.


“අඩේ මූ ඩෙනිම හෝදන් නෑ.”
මෙලීසා කියපු එක ඇහුන වගේ එයා ගැස්සිලා අපි දිහා බලනකොට මම හෙමිහිට ඒකිගෙ වැළමිට කෙනිත්තුවා.


කතාව ඇත්ත. ගිය සතියෙත්, ඊට කලින් සතියෙත් එයා ක්ලාස් ඇන්දෙ මේ ලා අලුපාට ඩෙනිම. කළු පාට බාට දෙක. රතුපාට බැගී ටී ෂර්ට් එක. බෙල්ලට වැටෙන අකීකරු කොණ්ඩෙ යාන්තම් ආණ්ඩුමට්ටු කරගන්න ඔළුවෙ හිරකරන් ඉන්න තද අළු පාට කැප් එක.


බස් එකක් නැවැත්තුවා.
එයා හිටි තැනින් හෙල්ලෙන්නෙවත් නැතුව බලන් ඉන්නව.


“මෙලියා අපි ඊගාව බස්සෙකේ යමු?”


“පිස්සුද යකෝ දැනටමත් දෙකහමාරයි. අදත් සර්ගෙන් නෝණ්ඩි වෙන්න වෙයි, යමන් යමන්.” මෙලීසා මාවත් ඇදගෙන දඩිබිඩියේ බස් එකට නැග්ගා.


බස් එකේ වීදුරුවෙන් මට පේනව ඒ ඇස්. හරිම ගුප්තයි, වෙනස්වෙන සුළුයි. මේ වෙලාවෙ  මම ඒ ඇස් වලින් දැක්කෙ ළදරුවෙකුගේ ඇස් ඇතුලෙ තියන පිවිතුරුබව. මන්තරකාරයෙක්. බලා නොබලා ඉන්න එක කරන්න විදියක් නෑ එයාගෙ ඇස් දෙකෙන් මාව පටලවා ගත්තට පස්සෙ. 








“මහ නපුරෙක් ඒකා. උඹව රිද්දනව. උඹට තේරෙන්නෑ මැට්ටි.”


“ඇයි?” මම ඇහුවෙ හීනෙන් වගේ.


“පේන්නැද්ද බස් එකට නගින්නෙ නැතුව මග ඇරල ඉන්න හැටි. ලොකු ලයින්!” මෙලීසා එයාට එරෙව්වා. එයා ඉක්මනින් අහක බලා ගත්ත.


බස් එක මදින් මද ඉස්සරහට ඇදෙනවා. මගෙ හිතත් පුපුරලා ගිය ඉර වගේ කෑලි කෑලි කැඩිලා ගිහින් ඇස් අග්ගිස්සෙ එකතු වුනා.


බොඳවෙච්ච වීදුරු පටලයෙන් මම අන්තිම වතාවටත් බස් හෝල්ට් එක දිහා බැලුව. 

ඒත්, එයා කොහෙද?


“අරූ නම් දවසක මැරෙන්නෙ බස් එකක් පල්ලෙ වැටිලා බෙල්ල කඩාගෙන. උඹටත් මේ වඳුරටමනෙ හිත ගියෙ.” මගෙ ෆයිල් බෑග් එක බස් එකේ උඩ රාක්කයට දාන ගමන් මෙලීසා කියනවා.


හුළඟත් එක්ක දඟකරන කොණ්ඩ කැරළි එයාගෙ සුදුමැලි නළලට වැටෙනවා. ලොකු ටී ෂර්ට් එකත් හුළඟත් එක්ක තරඟෙට ඉගිල්ලෙන්න යනව. ඒ දිළිසෙන ඇස් ෆුට්බොර්ඩ් එකේ ඉඳන් දිගටම මා දිහා බලන් ඉන්නව.










ඇල්මෙන් බැල්මෙන් හෙමින් සීරුවෙන්..
වචනයෙන් දෙකෙන් දොඩමලු වෙමින්...
ඇදහැලෙනා දිග හැරෙනා 
ආදරේ...

තවමත් නොකියූ ආදරේ..
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......

රහසින් සිහිනෙන්
නිදි ලොව නුඹව සෙයන්නේ...
සක්මන් කරමින් යලි යලි නුඹ ගැන සිතන්නේ....
කෝල බොළඳකම් සිත වටකරගෙන නැගෙන්නේ...
තවමත් නොකියූ ආදරේ..
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......


දනින් වැටි මල් යායක් අතින් අරන්
මුවට උඩින් පැන හාදු වැස්සක් දෙන්නම්
දෙනෝදහක් සිටියත් අප දෙසම බලන්
දෑත් විදහා ආදරයෙන් රගන්නම්


වචනයෙන් නොකියූ ආදරේ
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......
රහසින්වත් නොකියූ ආදරේ
මගෙ ආදරේට ඔබෙ ආදරේ දෙනවානම්......




ගායනය :- භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්










වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය (Science behind break up)






බස්සි කලින් වතාවෙ තොරණෙ විස්තරේ දුන්නෙ ආත්මීය ආදරේක ජෛව රසායනය ගැන නෙව. අනේ ඉතින් අපේ පින්වත්තු ඒකෙන් සෑහීමට පත් වුනේ නෑ. ඒ වෙනුවට එයාල තව තවත් උනන්දු වෙනව විද්‍යා ගවේශණයට.


ඒ පෝස්ට් එකේම කමෙන්ට් කරල අපේ චාමික මල්ලි අහනවා බූට් පාරකින් හද බිඳීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කරන්නෙයි කියල. ඇයි අපේ ප්‍රා අහනව බ්‍රේක් – අප් වලදි ස්‍රාවය වෙන්නෙ ඔක්සි-ටොක්සින් ද කියලා. ඊට හපන් අපේ ඉවාන්, අඬ අඬා කියපි අර ක්‍රශ් ක්‍රෑෂ් සිද්දියට පස්සෙ තමන්ට දැනුන බූට් රෝග ලක්ෂණවලට හේතු විද්‍යාත්මකව පහදලා දෙන්නලු ඉක්මනටම.






අනේ ඉතින් එහෙව් ඉල්ලීම් නොසලකා අරින්නෙ කොහොමද කියලා බස්සි අද තොරණෙ විස්තරේ දෙවෙනි කොටස කියාදෙන්නයි මේ සූදානම. ඕං එහෙනම් අහගන්න; වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය.


ලූෂා පස්සෙන් එන්නා
සුරංගාට මල පැන්නා
පිහියක් එලියට ඇද පෙන්නා
උන්දැව එළවා ගන්නා


ටුරුටූ ටුරුටුරු ටුරුටූ ටුරුටූ
ටුරුටූ ටුරුටුරු ටූරුරු ටුරුටූ



අනේ ඉතින්, ඕ ලෙවල් කාලෙ තමන්ගෙ කුළුඳුල් ආදරෙන් අයිසින් කරපු හදවත ලස්සන රැපින් පේපරේකින් ඔතාගෙන, රිබන් පටියක් ගැටගහගෙන අපේ ඉවාන් පවුලූෂා සුරංගා දැරිවිට හද පුදනව. ඒත් මල හත්තිලව්වට ගහපු කලාබරේ වගේ අන්තිමේ සුරංගා කුකුල්ලු මරන පිහියක් උරුක් කරලා තර්ජනේකුත් කරලා ඉවාන්ට බූට් සපත්තුවක් දෙනව ගෙදර ගෙනියන්න.


අන්න ඒ වගේ බූට් සපත්තුවක් තෑගි වශයෙන් ලැබුනම, කසාදයක අනාගත කාල වාක්‍යය වන දික්කසාදයක් සිද්ද වුනාම, එහෙමත් නැත්නම් කල්ප කාලාන්තරයක් සිතින් විතරක් පෙම් කරල, බැඳල ළමයි පස්දෙනෙකුත් හදාපු කෑල්ලගෙන් යාලුවෙන්න ඇහුවම දෙනෝදාහක් නුවන් අභියස අට ඉස්බක් ගැඹුරට වැළලෙන්න සිද්දවෙන විදියට තමන්ව ප්‍රතික්ෂේප කලාම ඇතිවෙන පොදු රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.



ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං !!



1.




කන්නත් බෑ බොන්නත් බෑ
උගුර කටත් වේළිලාලු
යාලුවො “කාපං” කිවුවට
කන්න බොන්න හිතක් නෑලු


සයිඩ් වෙලා මූඩ් ගසා බලන් ඉන්නවා
බූට් සැරට සැරින් සැරේ බඩ දඟලනවා



ආදර හැඟුමන් ඉපදුන
දවසෙත් මෙය සිදුවුනාලු
ඇඩ්‍රිනලින්, කෝටිසෝල්
අධිවෘක්කෙන් ගලනවාලු


මේ නඩලං හින්දා මහ
කරුම වැඩකි සිදුවෙන්නේ
ජීරණ පද්ධතිය වෙතට
රුධිරය අඩුවෙනි යන්නේ


සංකෝචන – ඉහිල්වීම් ස්ලෝ වෙනවාලූ
ඒ හින්දා බඩගින්නක් එන්නේ නෑලූ



2.



පතා ඔතා දුන් හදවත
පොළවේ ගැහුවා වාගේ
හාට් රේට් එකත් වැඩිය
මූණ පේනකොට ඈගේ


ඒ එක්කම හීන ලොවෙන් බිම ඇදවැටුනා
පපුව හිරවෙලා තදටම කැස්සත් හැදුනා


ඒ රුව දකිනා මොහොතේ
කලින් පුරුදු කරපු ලෙසට
තවමත් පණිවුඩ යැවෙන්නෙ
මොළේ pleasure cells වලට


තප්පර කාලක් යනකොට
නිවැරදි සිග්නල් යනවා
මස්තිෂ්කයෙ අපර කොටසෙ
pain center කික් වෙනවා


ඒ විතරද රුධිර සැපයුමත් අඩුවෙනවා
හෘත්පේශි හැකිලී හදවත කකියනවා



ඉස්සර පුරුද්දට ඒ මූණ දැකපු ගමන් හිතාගන්නත් කලින් ventral tegmental area එකට පණිවුඩයක් යනවා ආන් ඉන්නවා රාන් කුරුල්ලා කියල. අනේ ඉතින්, පුරුද්දට වගේ එතකොට මොළේ සතුට උපදවන සෛල උත්තේජනය වෙනවා.

ඒත් මොහොතක් ගතවෙනකොට ආපහු කඩන් වැටෙන්නෙ හැබෑ ලෝකෙට. ඒ රාන් කුරුල්ලා දැන් තමන්ගෙ නෙමෙයි කියලා මොලෙන් චටපට ගාලා කරෙක්ෂන් මැසේජ් යවනවා econdary somatosensory cortex එකටයි, dorsal posterior insula එකටයි. (මේවට කියන සිංහල නම් දන්නෙ නෑ. තරහ අවසර!) මේ පෙදෙස් වලින් කරන්නේ ශාරීරික වේදනාව දැනෙන්න සලස්වන එක. හොඳ විස්වාසෙට ගන්න, ඕන් ඔය නිසයි ඇත්තටම අර පහළොවක්ගෙන් ගුටි කෑව වගේ ඇඟට අමාරු දැනෙන්නෙ.

(ඉතිං ඒ උඩට කුංෆු අජන්තගෙනුත් ගුටි කාපු ඉවාන්...... නෑ එක්කො ඕනෙ නෑ.)



3.





හිතේ දුකට මුලු හදවත
බරට දැනෙන එකත් හරිය
ඒ වුනාට මුළු සිරුරම
රිදෙනව ඉවසන්න බැරිය


ඔලුව බරයි බෙල්ලත් හරවන්න අමාරූ
දෑත දෙපා තෙහෙට්ටු දෙනවා එක සීරූ



ඇඩ්‍රිනලින්, කෝටිසෝල්
සාන්ද්‍රණය වැඩිවෙන්නේ
පේෂි වෙහෙසපන් කියලයි
මොළයෙන් පණිවුඩ යන්නේ


ඒ වුනාට හිත බිඳුනම
ඔහේ වකුටු වී ඉන්නේ
වෙහෙසවන්නෙ නැති හින්දම
අපේ පේෂි ඉදිමෙන්නේ


ප්‍රතිශක්තීකරණය තව පිස්සු නටනවා
ගොඩක් වෙලාවට හෙම්බා, කැස්ස හැදෙනවා




අනේ ඉතින් ඔය විදියේ අටෝරාසියක් විනම්බෑසිවලට මූණ දෙන්න වෙන නිසාම අපි තව තවත් තදින් මොළේට පණිවිඩ යවනව බූට් සපත්තුව තිත්තයි කියල. අන්න ඒ දත්ත මොළේට කාවැඩුනම එයා කරන්නෙ බූට් එක තව තවත් තිත්ත කරනව. (ඔව් ඇත්තටම අපිට හිතාගන්න පුලුවන් කොණ්ඩෙ දිග ඩයනා අක්කගෙන් බූට් කාල මේ වේදනාව විඳින අතරෙ කුංෆු අජන්තගෙන් ගුටි කකා බයික් එක හෝදන්න උනාම ඉවාන් පවුලූෂා මොන තරම් අන්ත අසරණ තත්වයට පත්වෙන්න ඇතිද කියල. හා නැද්ද?)


මෙතනින් මේ කරුමය නවතිනවද? නෑ පින්වතුනි. රමර අස්සෙ බරකරත්ත කියලා මේන් මෙහෙමත් වෙනවා.



4.





කුඩු සික් හැදුනා වාගේ
ඇඟපත සීතල වෙනවා
අතීත සැමරුම් සිහිවී
සිරුර සෙමෙන් වෙවුලනවා


අනේ ඉතින් ඒ කාලෙ හාදුත් එක්ක සිරුර පුරා දුවපු ඩොෆමයින් අද අතුරුදහන් වෙලා. හරියටම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ඒ පුරුද්ද එකපාරට නැවැත්තුවාම වගේ. ඩොෆමයින් අරන් ආපු එයා අද ඈතට ඈතට පාවෙලා යනව. ඇබ්බැහිය බලවත්වෙන තරමට සිරුරට දැනෙන පීඩාව වැඩියි. ඒ නිසාම අත්ල සීතල වෙලා අත පය වෙවුලනව.


මෙන්න මේ නිසාම තමයි හදවත බිඳුනට පස්සෙ සමහර වෙලාවට ජීවිතේට මත්ද්‍රව්‍ය පාවිච්චි නොකල උදවිය ඒවට ඇබ්බැහි වෙන්නෙ.



මේ දුක්ඛ දෝමනස්සයන් මෙතනින් කෙලවර වෙනවද පින්වතුනි? නෑ. ඇඳේ වකුටු වෙලා ඔහේ ඉන්නකොටත් සිරුර පුරා දුවන කෝටිසෝල් නිසා ස්නේහස්‍රාවී ග්‍රන්ථි අසාමාන්‍ය විදියට උත්තේජනය වෙනව. ස්නේහස්‍රාවී ග්‍රන්ථි තමයි අපේ සමේ තෙතමනය රැකගන්න උදව් වෙන්නෙ. ඒත් ස්නේහ ස්‍රාවය අධික වීම නිසා සමේ සිහින් සිදුරු තෙල් වලින් වැහෙනවා. ඒ නිසා අති භයංකාර විදියට මූණේ කුරුළෑ ප්‍රමාණය වැඩිවෙන්න ගන්නවා.





බූට් රහත් එක්කම මේ
විනම්බෑසි සිදුවෙන්නේ
සතිය සතිය ගෙවෙන විටදි
ආපහු නෝමල් වෙන්නේ


බූට් එකක් අතේ අරන්
තනිවෙන්නට නොසිතන්නේ
පුලුවන් හැම මොහොතකදිම
මිතුරන් අමතාපන්නේ


පිස්සු ඇන්ඩි පාර්ට් තියෙන උන් ළඟ ඉන්නේ
උන්ගෙ ජෝක් නිසා ඩොෆමයින් උපදින්නේ


එළියෙ ඇවිදින්න නිතරම වැඩක යෙදෙන්න
ගිය එකාට යන්න කියල ෆන් එක ගන්න


අන්න එතකොට ලෝකේ
පහව යයි දුක ශෝකේ


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං
ඩුං !!!!



~~~@~~~