ඔන්න අදත් පෙරලන්න යන්නෙ ඉක්කෝලෙ කාලෙ මතක පොතේ සොඳුරු පිටු කිහිපයක්.
ඔය ඉක්කෝලෙ කාලෙ කියන්නෙ ඉතින් ආය ජීවිතේ සැහැල්ලුම කාලෙ නෙව. යාලුවො ඕනෙ තරම්, අනික ඒ කාලෙ ඉන්න යාලුවො කියන ජාතියෙ හිත්වල කිසි කහටක් නෑ. කාලයත් එක්ක ඔවුනුත් වෙනස් වෙනව තමයි නොවැලැක්විය හැකි විදියට. නමුත් ඒ මතකයන්ගේ සුන්දරත්වය නම් චුට්ටිත්තක්වත් අඩු වෙලා නෑ. ඒ මතකයන් කවදාවත් වෙනස් වෙන එකකුත් නෑ.
ඒ කාලෙ බස්සිට හිටපු යාලුවො සෙට් එකේ දෙන්නෙක් ගැන දැනටමත් පෝස්ට් දෙකක් ලිවුවනෙ.
නොබලපු අයට මෙතනින් ගිහින් කියෙවුවැකි.
ඔය යාලුවො සැට් එකේම උන්නු තවත් පොරක් තමයි මලියා කියන්නෙ. ඕනෙ දේකට උඩ පැනගෙන ඉස්සරහට යන නිසා (අධ්‍යාපනය හැර අනිත් සියලුම නසරානි වැඩ සඳහා.)
අපි මූට පෙරමුණේ රාළ කියලත් කිවුවා.
මලියා අපේ දහදෙනාගෙ සැට් එකේ හිටිය, තරමක් වලි බර චරිතයක්. වැඩකිඩ සියල්ලම කොල්ලෙක් වගේ. යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන, ඕනෑවටත් වඩා හිත හොඳ යාලුවෙක්. ඒත් දැන් නම් පොර අපිට මේල් එකක්, ඇස්.ඇම්.ඇස්. එකක්වත් එවන්නෙනැතුව රුසියාවට වෙලා ඩොට්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවාලු ඉතින්. හැබැයි මලියා එහෙ ඉඳන් හොරෙන් හොරෙන් බස්සිගේ නවාතැනට එබෙන බව මම දකිනවා බ්ලොගේ ස්ටැට් වලින්.
මලියා මගේ යාලුවෙක් වුනේ අපේ දහදෙනාගෙ සැට් එක ස්ථාපිත කරන්නත් කලින් ඉඳන්. හරියටම කිවුවොත් දහය වසරෙදි. මලියා ඒ කාලෙ ආවෙ අපිත් එක්ක එකම ලිට් ක්ලාස් එකට. ක්ලාස් එක තිවුනෙ මලියාගෙ ගෙවල් ගාව නිසා මූ තමයි අපිට ඉඳගන්න තැන් බුක් කරලා තියාගන්නෙ.
ඉතින් ඔන්න ඔය කලාස් එකටම තමයිලු අර පුරාණ ක්‍රෂ් එකත් ලිට් ඉගෙනගන්න ආවෙ. ඒ කේස් වලට මලියා සහ අනිත් එවුන් දක්වාපු අප්‍රතිහත සහයෝගය ගැන පස්සෙ වෙලාවක කියන්නම්කො. (අප්‍රතිහත සහයෝගය කිවුවට ඉතින් මුන් මාව කාපු එක තමයිදුන්නු සහයෝගෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.)
මලියාටත් තිවුනා මට වඩා දරුණු ක්‍රශ් එකක්. ක්‍රශ් එකක් විදියට ආරම්භ උනාට ඕක හැප්පිලා Crushවෙලා වැඩේ වෙනම මෙවුවා එහෙකට පෙරලුනා. අනේ අම්මෝ ඒ මෙවුවා එක පටන් ගත්තාට පස්සෙ අපේ කන අඩි වලට පුදුම සනීපයක් තිවුනෙ පොරගෙ වරුණාව අහල. කෝල් එකක් එහෙම ආපු දවසට ඉතින් අපි වසලා හමාරයි. මූ ෆෝන් එක ට්‍රීං…ට්‍රීං…. ගාපු තැන ඉඳන්, කෝල් එක කට් වෙලා බීප් බීප් ගාන තැන දක්වා සවිස්තරාත්මක විස්තර ප්‍රකාශයක් නිකුත් කරනවා අපි වෙනුවෙන්.
විස්තර ප්‍රචාරය නම් මදැයි. අපූරුම සීන් එක තමයි ඔය විස්තරේ කිවුවාට පස්සෙ මගෙනුයි, කිරිහාමියගෙනුයි, බැටිස්ටාර්ගෙනුයි මාරුවෙන් මාරුවට ඌ අහන අනිත් ප්‍රශ්ණෙ.
“ඉතිං මේ ගැන ඔයාලට මොකද හිතෙන්නෙ?”
අපේ මල පැනීමේ උච්චතම අවස්තාවට ළඟා වුනත් මලියා එතනින් උත්සාහය අත අරින්නෙ නෑ.
“මට ඒ ගැන හිතෙන්නෙ මෙන්න මෙහෙමයි.”
කියලා පොර සම්පූර්ණ ෆෝන් කෝල් එකම ගැන සාහිත්‍යමය විචාරයකුත් ඉදිරිපත් කරනවා අපූරුවට.
මලියගෙ කටත් ඒකාගෙ වැඩ වලටම හරියනව. මම හිතන්නෙ මලියගෙ වැඩ වලින් වැඩිපුරම බයිට් වුනේ 10/11 වසරවලදි අපේ පන්තිය භාරව හිටපු මැත්ස් ටීචර්. මලියගෙ තාත්තත් මැත්ස් ටීචර් කෙනෙක් නිසා ඒ මිස්ට මූ කරන නසරානි වැඩ වලට තදින් දඬුවම්කරන්න උවමනාව තිබුනත්, මිස් එහෙම කලේ නෑ.
අපේ මැත්ස් ටීචර් පොඩි පොඩි සිඟිති ආතල් ගන්න හරිම මනාපයි. ඉතින් දවසක් අපි එකොළහ වසරෙ ඉන්නකොට ටීචර් අත්පුඩි ගගහා මෙන්න මේම අහනවා.
“අපි සෙල්ලමක් කරමු ළමයි? කියන්න බලන්න ඔයාලා දන්න ලොකුම ඉලක්කම? ලොකූ….ම ඉලක්කම කියන එක්කෙනා තමයි දිනන්නේ….” මිස් වචනෙන් වචනෙට අත්පුඩි ගගහා කියන්නෙ හරියට තුන වසරට තිවුන පාඩමක් වැරදිලා අපිට උගන්නන ගානට.
ඉස්සරහම ඉන්න මුට්ටි ඩයල් ටිකටත් හොඳ පල්ලම. එකා දෙන්නා දැන් පස්ස බාගෙට උස්ස උස්ස උත්තර කියනවා. මලියටත් අපිට වගේම වැඩේ දිරෙවුවෙ නෑ. ඌ ඉතින් සුපුරුදු එරවිලි මුඩ් එකෙන් සීන් එක බලාගෙන ඉන්නවා.
“මීස්…මිස්, මිස් ට්‍රිලියනයයි!”
මිස් දැක්කා මලිය සද්ද නැති බව.
“තාත්ත හෙන මැත්ස් කාරය උනාට දුව උත්තර දෙන්න දන්නෙ නෑ වගේ! නේද…?” මිස් ඇදලා පැදලා සැරසුනේ මලියට බයිටක් දෙන්න..
“කියමු බලන්න තාත්තගෙ නම්බුව බේරගන්න.”
මලිය නැගිට්ටා.
“නහුතෙ! ලෝකෙ තියන ලොකුම ඉලක්කම නහුතෙ.!!”
Largest known prime number
මලියාට තිවුනු තවත් සුවිශේෂ හැකියාවක් තමයි කඩදාසි සුරුට්ටු බීම. ගින්දර එක්ක කරන සෙල්ලම් වලට පරාණ බය මට ඉතින් ඒක සෑහෙන මැජිකක්. ඔය කඩදාසි සුරුට්ටුව හදාගන්නෙ පොතක මැද පිට්ටක් කඩලා ඒක ගානට රෝල් කරගෙන. ඔය වැඩේකරන්නෙත් බොහොම හොරෙන් ටීචර්ලා එනවද කියලා ඔත්තු බලන්නත් කස්ටියව තියලයි.
මලියා වැඩි හරියක් කොරන්නෙම ඉතින් මාත් එක්ක ඇර ගන්න එකම තමයි. මොනා හරි මගුලක් කරලා මාව අවුස්සන එක තමයි ඒ කාලෙ උන්දැගෙ විනෝදාංශෙ. ඌ කියන විදියට එහෙම වෙලාවට මටත් ‘නහුතෙට’ තද වෙනවලු. ඉන් පස්සෙ මම තරහ පිටකරගන්න අඩියක් හප්පල වටයක් දුවනවලු. වටයක් දුවල එද්දි තරහ නිමිලලු. ඔය අඩිය හප්පලා වටයක් දුවල එන පුරුද්ද ජෝජ් එලියට්ගේ “Mill on the floss” කතාවෙ මැගී ටුලිවර්ටත් තිබුන නිසා Lit ක්ලාස් එක ඉවරවෙනකන්ම මාව බයිටට ගන්න එක තමයි මුගේ සහ අපේ යාලුවො රැලගේ පුරුද්ද.
Tom and Maggie
මලිය ගාව ගොඩක් ප්‍රශ්ණ වලට විසඳුම් තිබුනා, සමහර විසඳුම් කොන්වන්ට් එකක මල් වගේ (පිටසක්වල ජීවීන් වගේ – ශානු අක්ක කියන හැටියට.) ළමයින්ට ගැලපුනේ නෑ. ගුරුවරුන්ට දිරෙවුවෙත් නෑ. හැබැයි වැඩක් කලොත් කලාම තමයි. ආයෙ කතා දෙකක්නෑ.
ඔන්න එක පාරක් අපිට සයන්ස් යූනියන් එකේ උත්සවයකට පුන්කලස් වගයක් හදන්න වුනා. මලියා තමයි සයන්ස් යූනියන් එකේ සභාපති තැන්පත් තුමා. මේ යකා කලින් දවසෙ රෑ හතහමාරට විතර කෝල් කරලා මට පොල් මල් ගේන්න කියලා මාත් අපේ තාත්තගෙන්හොඳවායින් බැනුමුත් අහගෙන කොහොම හරි කුකුළත් අතින් අරන් වත්තෙ වැඩ කොරන මනුස්සයෙක්ව හොයන් ගිහින් පොල් මල් කප්පවාගෙන, ස්කූල් වෑන් එකෙන් බැහැපු අවස්ථාවේ සිට කොලු කුරුට්ටන්ගේ දහසක් අපහාස උපහාස මැද්දේ අභීතව පොල්මලත් කරේ තියාගෙන පන්තියට සම්ප්‍රාප්ත උනා කියමුකෝ.
ගිහින් පුන් කළස් හදන්න යද්දි තමයි දෙලෝ රත් උනේ.
පුන්කළස් අටවන්න කළගෙඩි නෑ.
වෙලාව හතහමාරට විතර ඇති,
නවයහමාර වෙද්දි වැඩේ ඉවර වෙන්න ඕන.
මලියා මගේ අවලාද මැද ටිකක් වෙලා නළල රැළි ගහගෙන කල්පනා කලා. ඊට පස්සෙ මගෙ අතින් ඇදන් කෙලින්ම දිවුවෙ ඉස්කෝලෙ එක අන්තයක තියන නැටුම් කාමරේට.
ගිහින් මිස්ගෙන් කළගෙඩි ඉල්ලුවාම පෙන්නුව පරණ මැටි කළ වගයක්. වැඩේ හරියන්නෙ නෑ, ඒව ගැලපෙන්නෙ නෑ. ආපහු හැරිල එන්න යද්දි ආවා තව නැටුම් ටීචර් කෙනෙක්, මෙහෙම කියාගන.
“අන්න පළාත් තරඟ වලට ගෙනියන්න සරසපු ඇලුමිනියම් කළගෙඩි ටික තියනව පොඩි නැටුම් කාමරේ. මෙන්න යතුර.”
සරසපු ලොකු ඇලුමිනියම් කළගෙඩි….. මම ඉතින් මිස්ට අහිංසක ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හිතාගෙන ශ්‍රෙක්ගෙ පූසා වගේ බලන් ඉන්නකොට;
මෙන්න
මූ මගෙ අතෙන් ඇදන්
දුවපි ඉස්කෝලෙ එහා කෙලවරේ තියෙන
පොඩි නැටුම් කාමරේට.
දැන් උදේ රැස්වීම පටන් අරගෙන. සැරසිලි වැඩ එතනම. ඒ ගමන මූ මාවත් ඇදගෙන ගියා බොටනිකල් ගාර්ඩ්න් එක පිටිපස්සට. අන්තිම ළමයත් ගියාට පස්සෙ පොර ආව එලියට. නැටුම් කාමරේ ජනේලය පරණයි. මෙන්න මේ යකා ලීයකින් ගහලා, ඇණයක් දාලකරකවලා ජනේලෙ අගුල පන්න ගත්ත.
“ලෑල්ලක් හොයපන්කෝ…”
ලෑලි කෑල්ලක් හොයාගෙන බිත්තියට හේත්තු කරපු පොර ඊගාව මොහොතේ ජනේලය ඇතුලෙන් අතුරුදහන් උනා. විනාඩි දෙකක් ඇතුලත එළියට ආවෙ ලස්සන කැටයම් අලවලා රිදී පාට ගාපු ලොකු කළගෙඩි දෙකක්.
ඉන් පස්සෙ අපි එක හුස්මට නැවතුනේ ලැබ් එක ගාව. එක ජාතියෙ කුරුල්ලො එකට එකතුවෙනෝ කියන්නැහෙ අපේ ජාතියෙ එවුන් තව දොළොස්දෙනෙක් විතරම එසෙම්බ්ලි එක කට් කරලා හිටියා. දඩි බිඩි ගාල සැරසිලි වැඩ සේරම අන්තිම මොහොතට තත්පරයක් කලින් ඉවර කරල වැඩේ ගොඩදැම්මා කියන්නකෝ.
ඊට පස්සෙ තමයි භාරදූරම කාර්යය, ඔය කළගෙඩි දෙක ආපහු තිබ්බ තැනටම වඩම්මවන්න එපැයි.
කළගෙඩි දෙක අතට ගත්තු කිරිහාමියව බිත්ති කොනකට මුවා කොරලා අපි සේප් එකේ රබර් ඇහැ දාල බැලුවා නැටුම් කාමරේ දිහාට.
නැටුම් මිස් සාරිය කැහැපොට ගහගෙන හිටු කියලා නැටුම් කාමරේ දෙවනත් කරගෙන කළගෙඩි හොයනවා. නැටුම් කණ්ඩායමේඋනුත් මල අතේ අරන් හතර අතේ දඟලනව. ඒ වෙලාවෙ කිරිහාමියව උන්ට අහු වුනානම් ආයෙ දෙකක් නෑ ටොම්ව හෙක්ටර්ට අහු වුනා වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න තිබුනා. කොහෙද ඉතින් මේ ඇස් පින් කරලා මදිලු ඒකට.
පස්සෙ කට්ටියම මං හිතන්නෙ යම් සම්මුතියකට එළඹිලා එකාවන්ව ලොකු නැටුම් කාමරය බලා පිටත් වුනා. මිස් දොර ලොක් කරලා යතුර ඉනේ ගහගත්තත් එක්කම නැට්ටුවො රැළ මිස්ගෙ සාරියෙ එල්ලිලා පේළියට පස්සෙන් වැටුන.
අපි වහාම කළ දෙක සුපුරුදු ජනේළයෙන් දඩාං ගාල බිමට අතෑරලා දිවුවා දිවිල්ලක් උසේන් බෝල්ට් හිටියනම් අම්මප අපෙන් ටියුෂන් ගන්න එනව.
ඕං එහෙනම් ඉක්කෝලෙ කාලෙ කතා ටිකක් ලියන්න කියල කිඹුල් ශානු අක්කා නාහෙන් අඬ අඬා කරපු ඉල්ලීම මම ඉටු කළාලු හොඳේ...