Wednesday, July 17, 2013

විසිතුන්වෙනි කොටස : ආගමනයට පෙරමo තැනීම



"බස්සියෝ..... බස්සි පැටියෝ..... ලබන සතියෙ දෙක වසරට කැම්පස් පටන් ගන්නවලූ.......!!!" බස්සා පණිවිඩේ අරන් ඉගිල්ලිලා ආවෙ හරිම සතුටෙන්. චූටි ඇස් දෙක සතුට වැඩිකමට දිලිසෙනව.

"ආව් ආව් ෂෝයි නේ!" බස්සිටත් හරිම සතුටුයි.

ඉස්සර හැම දවසකම බස්සි බස්සාව දැක්කෙ යාලුවෙක් එහෙමත් නැත්තම් අයියා කෙනෙක් විදිහට. ඒත් ළඟදිම දවසක අලුත් ඇස් දෙකකින් බස්සාව දැකගන්න බස්සිට පුලුවන් වෙනව. ඒ දවස උදා වෙනකම් බස්සා වගේම බස්සිත් හිටියෙ ඇඟිලි ගැන ගැන.

දවසින් දවස ගෙවිලා ගියා. බස්සිලාට කැම්පස් පටන් ගන්න දවස ළං  උනා.

"බස්සියෝ, මම ඔයාගෙන් දෙයක් ඉල්ලන්නද?" බස්සා දවසක් හැන්දෑවෙ බස්සිගෙන් එකපාරටම ඇහුවා.

"මොකද්ද?"

හොස්ටල් වල ඉන්න අයට එන්න කියල තියෙනව කැම්පස් පටන් ගන්න කලින් දවසෙ, ඔයත් එදාට එන්නකෝ..."

"අයියෝ ඕක මොකද්ද!! මම එන්නම්." බස්සිත් උඩින්ම කැමති උනා.

බරපතලම ප්‍රශ්ණය ඇතිවුනේ ඊට පස්සෙයි. බස්සි වෙනදාට කැම්පස් යන්නෙ තාත්තා ඔෆිස් එකේ වැඩ වලට කොළඹ යද්දි, තාත්තා එක්ක. ඇයි දෙයියනේ ඉක්කෝලෙ යන කාලෙ ඉඳන් බස් වල යන්න කම්මැලිකමේ තාත්තා එක්කම ගමන්බිමන් යන්න ට්‍රයි කරපු බස්සි! ලෙක්චර්ස් වලට විනාඩියක් තියල ගේට්ටුව ගාවින් බැහැලා කඩාගෙන බිඳගෙන කැම්පස් එකට දුවන බස්සි! එක පාරටම බස් එකේ කැම්පස් යන්නම් කීවම, පටන් ගන්න කලින් දවසෙ කැම්පස් යන්නම් කීවම තාත්තාගෙ ප්‍රතිචාරය හිතාගන්න පුළුවනි නේද?

මේ ටික කිවුවම බස්සාත් සැහෙන්න වෙලා කල්පනා කලා මේකට සුදුසු පිළියමක්. බස්සි අන්තිමේදි තීරණය කලා පන්දුවට එන හැටියකට පහර දෙන්න.

"මම කැම්පස් පටන් ගන්න කලින් දවසෙ යන්නම් ද?" බස්සි ඇහුවා.

"ඒ මොකටද ළමයො? මාත් එක්කම යන්න පුළුවන්නෙ කිසිම කරදරයක් නැතුව." තාත්තා පළමු පන්දුව එල්ල කලා.

"බෝඩිමත් ජරා වෙලා ඇති තාත්තෙ. හෙට ගිහින් බෝඩිම ටිකක් අස් කරල දාන්නත් ඕනෙ." බස්සි පිත්ත වැනුවා ලාවට වගේ.

"ඔයාගෙ රූම් මේට් තර්ඩ් ඉයර්නෙ. එයා බෝඩිමට ආවෙ ගිය සතියෙනෙ. එයා රූම් එක අස් කරන්න ඇති. ඔයාට දවසක් තිස්සෙ අස්කරන්න දෙයක් නෑනෙ."
තාත්තා පළමු පන්දුව සාර්ථකව රැකගත්තා බස්සිට කට උත්තර නැති වෙන්නම.

"අනේ තාත්තා මම මාස දෙකකින් කැම්පස් එකේ යාලුවො දැක්කෙ නෑ. මොකද්ද අනේ...." බස්සි ටිකක් වෙනස් ස්ටයිල් එකකින් බැට් කරලා බැලුවා.

"තමුසෙට දැන් තමයි හදිස්සියෙම යාලුවො මතක් උනේ. යාලුවන්ව දවසක් කලින් දැක්කම මොකද්ද තියෙන විශේෂත්වය?" අපේ තාත්තා 'තමුසෙ' කියලා අපිට කතා කරන්නෙ ෆිට් එකට හොඳේ, තරහකට නෙමෙයි. ඒ කියන්නෙ දැන් තාත්තගෙ මූඩ් එක හොඳ අතට පෙරලීගෙන එනව වගෙයි.
 
"මට විතරයි යන්න බැරි. අනිත් එවුන් ඔක්කොම එනවලු. මාව කොන් කරලා දැම්මොත් ඔයා තමයි ඔන්න." බස්සි තාත්තට බෑ කියන්න බැරි විදිහේ ඩිල් ස්කූප් එකක් එල්ල කලා.

"හා හා යනවා. මට නෙමෙනෙ අමාරුව." තාත්තා අනුමැතිය දුන්නෙ ඒ විදියටයි.




4 comments:

  1. අපේ තාත්තත් ඔහොමම තමා පර්ම්ශන් ගන්න ගියාම විදින දුකක්!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෆාති අක්කිත් ඒ කට්ට කාල තියෙනව වගේ..!

      Delete